මහජන උපයෝගිතා කොමිසමේ සභාපති අස්කරන්න

27

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ව්‍යවස්ථාදායක සභාවට ලියයි
මහජන උපදේශනයේදී ජනතාවට බාධා කළා:

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය පහළොස් වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැති ජනතා අදහස් ලබා ගැනීමේ වැඩපිළිවෙළ හෙවත් මහජන උපදේශනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඔහුගේ බලතල ඉක්මවා හැසිරෙමින් ජනතාව අදහස් දක්වද්දී ඊට අනවශ්‍ය පරිදි බාධා කළ බවත් එය එම කොමිෂන් සභාවේම 17 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත් කියමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ව්‍යවස්ථාදායක සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම දුරයෙන් ඉවත් කරන ලෙසද ඒ මගින් ඉල්ලා තිබේ.

ඊට අදාළ ලිපියකට අගතියට පත් පාර්ශ්වයන්ගෙන් අත්සන් ගැනීම ඊයේ (19දා) කොළඹදී සිදු කළ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මහජන උපදේශනයේදී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවට අදහස් දැක්වීමට අවස්ථාව ලැබී ඇත්තේ විදුලිබල පනතේ තිස් වැනි වගන්තිය අනුව බව සඳහන් කරන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය එයට බාධා කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැතැයි ද කියා සිටී. එම නිසා ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලෙස එම සංගමය සහ එදින අදහස් ප්‍රකාශ කිරීමට පැමිණි අනෙකුත් පාර්ශ්ව ව්‍යවස්ථාදායක සභාවට ලිඛිතව යෝජනා කර සිටියි. මහජන උපදේශනය පැවැති දින පැමිණි ජනතාවගෙන් අත්සන් ලබාගෙන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහි පැමිණිල්ල මේ සතිය ඇතුළත දී ව්‍යවස්ථාදායක සභාවට භාර දෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව කරුණු අටක් යටතේ සිය අදහස් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන බවද හෙතෙම කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment