මාතලේ ලොකු ලූනූ බීජ නිෂ්පාදනය ඇරැඹේ

31

2023/24 මාස් කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු බීජ නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ මහින්ද දොඩම්වල මහතා පැවැසීය. ඒ අනුව වසන්තීකරණය සඳහා යොමු කළ ලූනු මව් බල්බ කිලෝ 30,000/=ක් ගොවීන් අතර මේ වනවිට බෙදා දී ඇති බව ඒ මහතා පැවැසීය. මෙම බීජ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මව් බල්බ කිලෝ එකකට රුපියල් 150 ක් ලබා දෙන බවත්, ඊට අමතරව කෘෂි යෙදවුම් සඳහා 50%ක දායකත්වය ගොවීන්ට ලාබාදෙන බවත් පැවැසීය. මාතලේ දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කරන මෙම ලූනු බීජ ‘දඹුල්ල රෙඩ්’ සහ ‘ගලේවෙල රෙඩ්’ යන නම්වලින් හඳුන්වයි. මෙම බීජවල විශේෂත්වය නම් ගුණාත්මක බව ඉහළ මට්ටමක තිබීම, වැඩි අස්වැන්නක් ලබාගැනීම, කල් තබාගැනීමට ඇති හැකියාව, ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, ආනයනික බීජ වලට වඩා ගොවීන් අතර ජනප්‍රිය වීම ආදිය දැක්විය හැකිය. පසුගිය කාලයේ දේශීය ලොකු ලූනු බීජ කිලෝ එකක් රුපියල් 20,000 ත් 25,000 ත් අතර මුදලකට අලෙවි කර ගැනීමට ගොවීන්ට හැකිවිය. ඒ නිසා ලූනු වගාවෙන් ලැබෙන ආදායමට අමතරව බීජ අලෙවි කිරීමෙන් ආදායමක් ලබා ගැනීමටද ගොවීන්ට හැකිවූහ. ගලේවෙල ගොවියෙකුගේ කම්කරුවකු විසින් මව් ලූනු බල්බ තාවන් කරන ආකාරය ඡායාරූපයේ දැක්වේ.
ගලේවෙල විශේෂ – පී. ජී. ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment