මාස 2ට මහනුවර වකුගඩු ඒකකයෙන් මරණ 7ක් – පෙරේදාත් රෝගියකු මියගිහින්

305

උපකරණ කට්ටලයේ දිලීර වර්ධනය වීම මරණවලට හේතුවද?

මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දුකරණයට ලක්වූ රෝගීන් අතරින් ඉකුත් මාස දෙක තුළ රෝගීන් හතකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි දැන ගන්නට තිබේ. පරිතාන කාන්දුකරණ ඒකකයෙන් රෝගීන්ට ලබාදී ඇති පරිතාන කාන්දුකරණයට අදාළ උපකරණ කට්ටලයේ දිලීර වර්ධනය වීම මත මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

නිවසේ සිට පරිතාන කාන්දුකරණයට යොමු කරන ලද මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ලියාපදිංචි රෝගියෙකු පෙරේදා (9දා) රාත්‍රියේ මියයෑමත් සමග මේ පිළිබඳව නැවත අවධානය යොමු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මුරුතලාව පදිංචි එච්. එම්. හේරත් නමැති 78 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීයකුගේ පියෙකි.

වකුගඩු අකර්මණ්‍ය වූ පුද්ගලයෙකුගේ වකුගඩුව සියයට අනූ තුනකට වැඩි ප්‍රතිශතයක් දුර්වල අවස්ථාවලදී කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. එය පරිතාන කාන්දුකරණය peritoneal dialysis සහ රුධිර කාන්දුකරණය haemo dialysis ලෙස වර්ග දෙකකි.

පරිතාන කාන්දුකරණය නිවසේ සිට වුවද සිදු කළ හැකි බැවින් බහුතරයක් රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර සඳහා අදාළ වකුගඩු ඒකක වලින් අවශ්‍ය උපකරණ ලබා දී යවනු ඇත. මේ වන විට මහනුවර රෝහලේ පරිතාන කාන්දුකරණ ප්‍රතිකාර ලබන රෝගීන් 197 ක් ද අනුරාධපුර රෝහලේ තුන්සිය දෙකක්ද කරාපිටිය රෝහලේ දස දෙනෙක් ද වශයෙන් ප්‍රතිකාර ලබයි.

මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දුකරණ ඒකකයට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලබා දී ඇති පරිතාන කාන්දුකරණ උපකරණ තොගයේ තිබූ කැතීටරයේ කෙළවර ආවරණය කරන මූඩිය සහ රෝගියාගේ සිරුරේ පරිතාන කුහරයට යොදන දියරමය ද්‍රාවයේ ඇති දිලීර හේතුවෙන් මෙම තත්ත්වය සිදුවන්නට ඇතැයි අනුමාන කෙරේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මස අග සිට මේ දක්වා කරුණු සොයා බලා ඇති අතර අවස්ථා දෙකක දී පමණ අදාළ උපකරණ කට්ටල නැවත හරවා යවා ඇති බවද දැන ගන්නට තිබේ.

අදාළ උපකරණ කට්ටල භාවිත කළ රෝගීන් ආසාදන තත්වයන් සමග රෝහල් ගත වීමෙන් අනතුරුව ඔවුනට රුපියල් හැටදහසක් වටිනා ප්‍රතිජීවක ඖෂධ දින දාහතරක් පුරා නේවාසිකව ලබාදෙමින් ඔවුන්ගේ පරිතාන කාන්දුකරණ ක්‍රියාවලිය නතර කොට වෙනත් ප්‍රතිකාර සඳහා යොමු කළ බවට රෝගීන් අදහස් පළ කරති.

මේ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළ සිටියේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලමින් කටයුතු කරන බවය.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment