බසය ඔයට පෙරළෙද්දී පිරිස ළතෝනි දුන්නා – මරණ 10යි 42කට තුවාල

1230

පිටත් වුණු වෙලාවේ ඉඳන් ආවේ හැටට හැටේ
පාලමේ අනතුරුදායක බව පෙන්වා දුන්නත් බලධාරීන් බිහිරන් සේ සිටියා

පොලොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පළේ සිට කාත්තන්කුඩි බලා ගමන් ආරම්භ කළ පෞද්ගලික බස් රථය ඉතාමත් අධික වේගයෙන් පැමිණි බව බස් රථයේ ගමන් ගත් මගීහු පවසති. එසේ පැමිණි බස්රිය මනම්පිටිය පාලම මතදී පාලමේ ආරක්‍ෂක යකඩ වැටද කඩාගෙන පාලමෙන් පහළට ඇදවැටුණු බව ඔවුහු කීහ.

බසය ඔයට පෙරළෙද්දී පිරිස ළතෝනි දුන්නා - මරණ 10යි 42කට තුවාල

“අපි ආපු බස් එක කදුරුවෙල බස් නැවතුමෙන් පිටත් වෙනකොට රාත්‍රී 7.25ට විතර ඇති. බස් එක පිටත්වුණු වෙලාවේ ඉඳලා රියැදුරා එය පැදවූවේ හැටට හැටේ හරිම වේගයෙන්. එහෙම වේගයෙන් ආ බස් එක මනම්පිටිය කොටලීය පාලම උඩින් ටික දුරක් එනකොට දඩ බඩං ගාලා සද්දයක් ආවා. ඒ එක්කම බස්එක පාලමෙන් පහළට ඇදගෙන වැටුණා.” යැයි එහි සිටි මගීහු පැවසූහ.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි හඳපාන්විල්ලුවේ සිට මහවැලි ගඟට ජලය ගලායන ස්වාභාවික ඇළ මාර්ගය හරහා මෙම පටු පාලම ඉදිවී තිබෙන අතර මීට පෙර මෙම ස්ථානයේ මාරක රිය අනතුරු ගණනාවක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පැවැසූහ. දස දෙනකුට මරු කැඳවමින් පොලොන්නරුව මනම්පිටියේදී සිදුවූ මාරක බස් රථ අනතුරට හේතුව එම බස් රථයේ රියැදුරුගේ අපරික්‍ෂාකාරී රිය ධාවනය බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලොන්නරුව පොලිසිය කියයි. මේ වනවිට එම බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවසූහ.

බසය ඔයට පෙරළෙද්දී පිරිස ළතෝනි දුන්නා - මරණ 10යි 42කට තුවාල

පොලොන්නරුව, කදුරුවෙල සිට කාත්තන්කුඩි බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පෙරේදා (09දා) රාත්‍රී මනම්පිටිය කොටලීය පාලමෙන් පහළට පෙරලී යෑම නිසා මෙම අනතුර සිදුවිය. අනතුරින් මියගිය පිරිසට අමතරව තුවාල ලැබූ මගීන්ගේ සංඛ්‍යාව 42 ක් බව පොලසිය සඳහන් කළේය. තුවාලකරුවන් සියලුම දෙනා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසුව රෝගීන්ගෙන් වැඩි දෙනකු ඊයේ (10දා) දහවල් වනවිට රෝහලෙන් නික්ම යෑමට සුදුසු තත්ත්වයේ සිටි බව පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා අප කළ විමසුමකදී පැවසීය.

අනතුරින් මියගිය 10 දෙනාගේ මළ සිරුරු පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත පෙරේදා රාත්‍රියේ රැගෙන එනු ලැබීය. ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි. අනතුරින් මියගිය අයගෙන් 06 දෙනකුගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන් විසින් මේ වනවිට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම අටදෙනාගේ නම් සහ ලිපිනයන් මෙසේය.

(1) දිසානායක මුදියන්සේලාගේ සමිත දිල්ෂාන් දිසානායක (23) අංක 04, ඉහළ වීරකොඩියාන, වීරකොඩියාන.

(2) වන්නි අතපත්තු මුදියන්සේලාගේ දමිත් සාගර අතපත්තු (24) අංක 293, ඉහළ උස්වැව, උස්වැව, ආනමඩුව.

(3) අධිකාරී මුදියන්සේලාගේ අවිශ්ක දිල්ෂාන් සංජීව, අංක 130, බොරවැව, සෙවනපිටිය.

(4) මොහමදු ඊබ්‍රාහිම් මහරුප්, අංක 313ඒ, රූලල් කොට් පාර, එරාවුර්.

(5) රෂ්යුදීන් මොහමඩ් ඉජාන්, අංක 319, රෝහල පාර ඔලිවිල් 02.

(6) ජුනයිඩ් මුනාෂ් අංක 142 ඒ, ආලියඩි පාර, එරාවුර්.

මියගිය පිරිස අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ සිව්වන වසරේ සහ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු ද වන අතර ඔවුන්ගේ නම් සහ ලිපිනයන් ඉහළින්ම සඳහන් කර ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (1) චානක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ඒ. එම්. ගයාන් බුද්ධික මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

කරුණාරත්න ගමගේ සහ මනම්පිටිය-ජේ. ඒ. ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment