මැතිවරණ කොමිසමටත් තේරීම් කාරක සභාවක් පත් කරන්න හදන්නෙ හොඳකට නොවෙයි

50

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති අතර රජය ලහි ලහියේ ඊට යොමුව තිබෙන්නේ අලු‍තින් පත් වූ මැතිවරණ කොමිසමටත් අධිකරණය ඉදිරියේ තිබෙන්නා වූ නඩු විභාගවලටත් බලපෑම් කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (17) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඒ අනුව හෙට දින පාර්ලිමේන්තුවේදී මැතිවරණ කොමිසමේ පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරන්නේ වර්තමාන මැතිවරණ කොමිසම රජයේ න්‍යාය පත්‍රයන්ට සීමාවන්ට අනුව කටයුතු කළ යුතු බවටත් එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට යාමට සිදුවන බවටත් වන පැහැදිලි ඉඟියක් අනිසි තර්ජනයක් ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රජයේ අදහස්වල අනුව අධිකරණ විනිසුරුවන් කටයුතු නොකරන්නේ නම් අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොවන්නේ නම් විනිසුරුවන් තේරීම් කාරක සභාවක් ඉදිරියට ගෙන විත් පීඩනයට ලක් කිරිමට වුව හැකි බවට වන ඉඟියක් මේ තුළින් ලබා දෙන බවත් මේ දේශපාලන සූදුව දේශපාලන විජ්ඡාව ක්‍රියාත්මක කරමින් බංකොලොත් රටක සිස්ටම් එකේ වෙනසක් සම්බන්ධයෙන් හැමෝම කතා කරන අවස්ථාවේ ජාරා ජීරණ වූ යල්පැනගිය පැරණි ක්‍රමවේදයම ක්‍රියාත්මක කිරීමක් මේ තේරීම් කාරක සභාව තුළින් සිදුවන බවත් කීය.

රජය තමන්ගේ ක්‍රියා කලාපය තුළින් ජනතා පරාමාධිපත්‍ය, ස්වෛරීත්වය සහ සර්වජන ඡන්ද බලය ජනතාවට අහිමිකිරීමක් හා විනාශ කිරීමක් සිදුවන බවත් ඔවුන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීම යන තේමාව යටතේ රජය විසින් අධිකරණයටත් ස්වාධීන මැතිවරණ කොමිසමටත් බලපෑම් එල්ල කිරීමට යන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට උල්ලංඝනය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් බවයි.

මේ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය නැති වීමට ඉඩ නොතිබන බවත් ස්වාධීන අපක්ෂපාතී මැතිවරණ කොමිසමට බලපෑම් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් හුදකලාව නොව සියලු‍ම විපක්ෂයේ පාර්ශ්ව සමග එකට එකතු කර ගෙන ලක්ෂ 220ක් වූ ජනතාවගේ උන්නතිය උදෙසා අධිකරණයේ නිදහසත් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් ශක්තිමත් කිරීම උදෙසාත් කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට රජය දරන මේ කූට උත්සාහයන් සියල්ල පරාජය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment