මුගුරකින් පහරදී සැමියාව ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

673

මුගුරකින් පහරදී පනස් තුන් හැවිරිදි හිටපු යුද හමුදා භටයෙකු වන සිය සැමියා ඝාතනය කළ බව කියන හතළිස් හත් හැවිරිදි කාන්තාවක් ඉපලෝගම පොලිසිය විසින් ඊයේ (19) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉපලෝගම පොලිස් වසමේ පලුගස්වැව විජිතපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ විශ්‍රාමික යුද හමුදා භටයෙකු වන අරඹේගෙදර මහින්දසෝම නමැති අයෙකි.

ඝාතනයට ලක්වූ එම පුද්ගලයා පෙරේදා (18) 11.00 ට පමණ අධික ලෙස බීමත්ව නිවසට පැමිණ සිය බිරිඳ සමග ඇති කර ගත් බහින්බස්වීමක් දුරදිග ගොස් ඔහු බිරිඳට මුගුරකින් පහරදීමට සූදානම් වූ අවස්ථාවේ එය උදුරා ගෙන ඇති බිරිඳ එම මුගුරෙන් සිය සැමියාගේ හිසට පහරදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඉපලෝගම පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ඊයේ (19) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. කේ. ඩබ්ලිව්. සුබරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment