මෙවන් කඳුළු යළි දෑසට නොනැගේවා!

911

මවට හා දරු දෙදෙනාට ජීවිත අහිමි කළ ආරච්චිකට්ටුව ඛේදවාචකය

සොච්චම් පඩිය ගැන බලධාරින් මුනිවත රකිද්දී දුම්රිය ගේට්ටුකරුත් කලින්ම රස්සාව දාලා ගිහින්

දුම්රිය හරස් මාර්ග උණ බම්බු ගේට්ටුකරුවන්ගේ උප්පත්තිය සිදු වූයේ මීට වසර 35කට පෙරය. ඒ 1989 ජනවාරි 17 වැනිදා බළපිටිය අහුංගල්ලේ ඌරගහ පාර මංසන්දියේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් දුම්රියේ ගැටී සිදුවූ ඛේදවාචකයත් සමගය. එම අනතුරෙන් 36 දෙනෙක් එම ස්ථානයේ දීම මිය ගියහ. 51 දෙනෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් එවකට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා රටපුරා ම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සියල්ලට ම උණ බම්බු ගේට්ටු සවිකරමින් සතියක් තුළ ඊට විසඳුමක් දුන්නේය. ඉන් රැකියා විරහිත ගම්වල වෙසෙන විශාල පිරිසකට රැකියා ලැබිණි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හරහා සිදුවන ජීවිත සිය දහස් ගණනක් සුරක්ෂිත විය.

පසුකාලීනව දුම්රිය ගේට්ටු මුරකරුවන් සොච්චම් වැටුමක් ලැබෙන්නේ යැයි පවසමින් ඉල්ලීම් ගණනාවක් පැවැති රජයන්ගෙන් ඉල්ලා සිටියේය. උද්ඝෝෂණය වැඩ වර්ජනය පැවැත් වූහ. සමහරු රැකියාව ඇතහැර ගියහ. සාධාරණ විසඳුමක් නොලැබූ කල බොහෝ දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත විය.

මෙවන් කඳුළු යළි දෑසට නොනැගේවා!

මේ හේතුවෙන් දුම්රිය හරස් මාර්ග හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරු නිසා වටිනා ජීවිත අහිමිවිම් , බරපතළ තුවාල සිදුවීම් ගණනාවක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් දකින්නට අසන්නට ලැබුණි.

මීට ආසන්නව සිදුවීම වාර්තා වූයේ ඉකුත් 19 වැනි දින හවස ය. ඒ හලාවත ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ යතුරුපැදියක් කොළඹ සිට පුත්තලම බලා ගමන් ගත් දුම්රියේ ගැටී එකම පවුලේ මවක් පුතෙක් සහ දියණියක් එම ස්ථානයේ දීම මරණයට පත්වීමය. එම සිද්ධියෙන් අවට ගම්මානවල ජනතාව පමණක් නොව මුළු රට ම කම්පාවට පත්විය.

දුම්රිය අනතුරෙන් මරණයට පත්වූයේ ආරච්චිකට්ටුව අඩිප්පල ගඩොල්කැලේ පදිංචිව සිටි පින්නවල අප්පුහාමිලාගේ ශාලිකා දිල්රුක්ෂි නැමති 37 හැවිරිදි තිදරු මවක් ඇයගේ 9 හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු සහ 7 හැවිරිදි සිතුම්සා සාවෙන්දි ජයලත් දියණියයි.

මෙවන් කඳුළු යළි දෑසට නොනැගේවා!
මියගිය මව සහ දරු දෙදෙනා
මෙවන් කඳුළු යළි දෑසට නොනැගේවා!
මියගිය මව සහ දරු දෙදෙනා පියා සමග

ශාලිකා දිලිරුක්ෂි ගේ ස්වාමි පුරුෂයා නිශාන්ත ජයලත්ය. වයස 41කි. එකිනෙකා දැන හඳුනගෙන දෙදෙනා එක වහලක් යටට පැමිණෙන්නේ මීට වසර 15 කට පමණ පෙරය. ඒ දෙමව්පිය ආශිර්වාද මධ්‍යයේය. පවුලේ දරුවන් තිදෙනෙකි වැඩිමල් දියණිය සඳලු තාරකාය. ඇය හැලඹවටවන ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන්නීය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ලහි ලහියේ සූදානම් වන්නීය. මද්දුමයා සසන් මන්තුල පුතා ය. ඔහු එම විදුහලේම හතර වසරේ ඉගෙනුම ලබයි. පවුලේ බඩ පිස්සිය සිතුම්සා සාවින්දිය. ඇයත් එම විදුහලේ ම දෙවන වසරේ ඉගෙනුම ලබන්නීය. පියා හැලඹවටවන ප්‍රදේශයේ සැලුන් එකක් පවත්වාගෙන ගියේය. දිල්රුක්ෂි සඳුන් නිරන්තරයෙන් ම කතාබහ කළේ දරුවන්ගේ අනාගතය ගැනය. ඔවුන්ගේ ඉදිරිය ගැනය. ඒ නිසා වෙනත් ආර්ථික වෙනත් ආදායම් මාර්ගයන් සඳහා යොමුවීමට කටයුතු කළේය. නිශාන්තගේ ව්‍යාපාරයේ ආදායම දරුවන් තිදෙනාට හොඳින් ඉගැන්වීමට ප්‍රමාණවත් නොවන නිසා වෙතත් ආදායම් මාර්ගයක් වෙත යොමු වෙමු කියා දිලුරුක්ෂි යොජනා කළේය. පසුව ඇය පාසල් කාලය නිම වී ඇඳුම් සැකසීමේ පුහුණුවක් ලබා ඇති නිසා දෙදෙනාම ඇඳුම් සැකසීම ස්ථානයක් පවත්වගෙන යමුයි කියා තීරණය කළහ. ඒ සඳහා හොඳම ස්ථානය දරුවන් ඉගෙන ගන්නා හැළඹවටවන පාසල ආසන්නයෙන් බව ඔවුන් දෙදෙනා තීරණය කළේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් පවත්වාගන යෑමට හැකි වීමත් පාසල් නිල ඇඳුම් සැකසීමට අවස්ථාවක් ලැබෙන නිසාවෙන්ය.

සිය ව්‍යාපාරය වසරක් දෙකක් යනවිට දියුණුවක් ඇති විය. පසුව අවශ්‍යතාවය මත ඇඳුම් රැගෙන ඒමට කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මිලදී ගැනීමට ඔවුන් තීරණය කළේය. මේ නිසා ම ඔවුන්ගේ සියලු වැඩ කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය වටපිටාව සැකසිණි. සෑම දෙමව්පියකු ගේම මෙන් ඔවුන්ගේ එකම සතුට එකම බලාපොරොත්තුව දරුවන්ගේ අනාගතයයි. කොතරම් වැඩ රාජකාරි තිබුණත් දරුවන් සමග විනෝදයෙන් ගත කිරීමට යම් කාලයක් යොමුවීමට ඔවුන් දෙදෙනා අමතක නොකළේය. ඉඩ ලැබුණු සෑම අවස්සථාවකම සති අන්තයේ දරුවන් ආසා කරන ස්ථානවලට යෑමටත් කටයුතු කළේය. ඔවුන්ගේ නිවස පිහිටි ගඩොල්කැලේ සිට රෙදි සැකසීමේ ස්ථානයට කිලෝමීටර කීපයක් තිබෙන නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් පහසු කර ගැනීමේ අරමුණින් එම ගොඩනැගිල්ලේම මුළුතැන්ගෙයක් හා පහසුවෙන් රැඳී සිටීමට ස්ථානයක් ඉදිකිරීමට ඔවුන් කටයුතු කරයි. ඉන් පසු පාසල් දිනවල උදෙන්ම දරුවන් සමග පැමිණ දිවා ආහාර ද සකසා ඔවුන්ගේ උපකාර පන්තිවලට ද රැගෙන යෑමට කටයුතු කරයි. දිල්රුක්ෂිට ඉකුත් දහනව වැනි දා කාර්යබහුල දිනයක් විය.

මෙවන් කඳුළු යළි දෑසට නොනැගේවා!

ඒ වැඩිමහල් දියණියගේ පාසලේ පැවති රැස්වීමත් පුතාගේ උපකාර පන්තියත් නිසාය. බොහෝ දුරට දරුවන්ගේ වැඩකටයුතුවලින් වැඩි කොටසක් පැවරී තිබුණේ දිල්රුක්ෂිටය. ඒ නිශාන්ත ව්‍යාපාරයේ කටයුතු බලා හදා ගන්නා නිසාය. පාසල නිමවී දරුවන් තිදෙනා පැමිණීමට පෙර කඩිනමින් ඇය ආහාර සකස් කර ඔවුනගේ ඇඳුම් පැලඳුම් ද සකස් කිරීමට කටයුතු කළාය. පාසල නිම වී දරුවන් පැමිණි පසු ආහාර ගැනීමෙන් පසු වැඩිමල් දියණියගේ ගේ පාසල් රැස්වීමට ඇය සහභාගී වී කඩිනමින් නිවසට පැමිණියේ පුතාව උපකාරක පන්තියට රැගෙන යෑමටය. දිල්රුක්ෂි පුතා සමග යතුරුපැදියට නැඟ පණගන්වා යන්න සූදානම් විය. එකවරම පුංචි දියණිය ද මාත් එනවා කියමින් පැමිණ යතුරුපැදියට නැංගේය. පුතා සමග කොහේ හෝ යනවා නම් ඇය නිරන්තරයෙන් මෙසේ මෙලෙස ඇයවත් රැගෙන යන්න ඇවිටිලි කරයි. එදින තිබූ කාර්යබහුලත්වයත් අවිවේකී ගතියක් නිසා ඇය තරමක් වෙහෙසකාරීව සිටියාය. වෙලාව සවස තුනයි තිහට පමණය. මයියාවේ දුම්රිය හරස් මාර්ගයේ ආසන්නයට ම පැමිණියේය. ඒ සමගම කොළඹ සිට පුත්තලම බලා ගමන්ගන්නා දුම්රිය ද පැමිණියේය. දිල්රුක්ෂිට කිසිත් කරකියා ගත නොහැකි විය. නිමේෂයකින් සිත්පිත් නැති යකඩ යකා තිදෙනාම බිලි ගත්තේය. මේ මහා හදවත් කම්පා කරවන ඛේදවාචකයට බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ ගේට්ටු මුරකරුටය. කෙසේ වෙතත් ඔහු මීට මාස කීපයකට පෙර ඉල්ලීම් ලිපියක් යොමුකර සිය සේවාවෙන් ඉවත් වී ඇති බව ද සඳහන්.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment