මැදවච්චිය හීන්නකන්ද ගොවි පළක විදුලි සර වැදී තවත් අලියෙක් මරුට

31

නිකවැව නොම්බර 4ට දහවල් කඩා වැදුණු වනඅලි නිසා ගම්මානය නොසන්සුන්තාවට

අනුරාධපුර, මැදවච්චිය, හීන්නකන්ද, හැලඹගස්වැවට මධ්‍යම රාත්‍රී කාලයේ පැමිණි වනඅලියකු එස්. ජයන්ත සමරසිංහ නමැති ගොවි මහතාගේ වගා භූමියට පැමිණ එහි ආරක්ෂාවට යොදා තිබූ විදුලි කම්බියේ පැටලී බිම වැටී එම ස්ථානයේම මිය ගොස් ඇත. උස අඩි 09ට ආසන්න වයස අවුරුදු 20ක පමණ වනඅලියාගේ මළසිරුර හමුව ඇති බව වනජීවි නිලධාරීහු පවසති.

විදුලි සර වැදීම හේතුවෙන් මෙම වනඅලියා මියගොස් ඇති බවත්, සිද්ධියට අදාළව එම ඉඩමේ හිමිකරු වන වයස අවුරුදු 53ක් පමණ වූ අංක 70, හැලඹගස්වැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි සුගතපාලගේ ජයන්ත සමරසිංහ යන අය කහටගස්දිගිලිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වනජීවි කාර්යාල නිලධාරීන් හා මැදවච්චිය පොලිස් ස්ථානය එක්ව සිදු කරනු ලබයි.

මේ අතර ඊට පසු දිනෙක දහවල් කාලයේ අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, නිකවැව නොම්බර 4 ප්‍රදේශයට වනඅලි රංචුවක් පැමිණ ඇති අතර වනඅලි රංචුව ගම්මානය පුරා සැරිසැරීම හේතුවෙන් එම ගම්මානයේ සමස්ත ජනතාව නොසන්සුන්තාවට පත් වූහ. මේ දක්වා වනඅලි රංචුව නිකවැව වැව් ඉස්මත්තේ නැවති වරින් වර ප්‍රදේශයේ භවබෝග විනාශ කරමින් සිටින බව ගම්වාසීහු පවසති.
ගලෙන්බිඳුණුවැව – චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment