යුද්ධය නමැති අපරාධය

98

මීට මොහොතකට පෙර ගුවන් විදුලි යන්ත්‍රයක වාදනය වූ අපූරුම ගීතයක හද කම්පනය වන ස්වරය නැවත නැවත හදවතේ රැව්පිළිරැව් දෙනවා.

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිගුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්

ලොව නහවා සෝ කඳුළින්
සැනහේ ජය පැන් පුරමින්

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

උණු ලේ විස වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනිදැල් සයුරේ

සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ

මේ සටහන ලියන මොහොතේත් ලෝකයේ කොතන හෝ තැනක යුද්ධය උදෙසා අවියක මූනිස්සම් පිටවෙනවා. බෝම්බයක් පුපුරනවා. මිනිසුන් අහිමි වෙනවා. හද දැවෙන ශෝකයෙන් අහිමිවූවන් උදෙසා මිනිස්සු වේදනා විඳිනවා.

“නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කළ සෑම යුද නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙළෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නා වූද වස්ත්‍රයක් නොදුන්නා වූද, සමූහයාගෙන් කෙරෙන්නා වූ සොරකමකි. සන්නද්ධ වූ මේ ලෝකය වියදම් කරන්නේ මුදල් නොවේ. ඒ වියදම් කරන්නේ කම්කරුවන්ගේ දහදියයි, විද්‍යාඥයන්ගේ ඥානයයි, දරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවන ක්‍රමයක් නොවේ. යුද්ධයේ වළාකුල පසුපස යකඩ කුරුසිය මත ඇණගැසී ඇත්තේ මනුෂ්‍යත්වයයි.’

වරක් ඩ්වයිඩ් ඩී. අයිසන්හවර් කියන අපූරු චින්තකයා එහෙම කිව්වා.

පිස්තෝලයක මූනිස්සම් දෙකකින් ආරම්භ වූ පළමු ලෝක යුද්ධය හමාර වන්නේ ලක්ෂ 90 ක හමුදාවක් මෙන්ම ලක්ෂ 90ක සිවිල් ජීවිත කන්දරාවක්ද මිහිමතින් තුරන් කරමින්.

ඕනෑම යුද්ධයකට කාලකණ්ණි වේවා ‘අරමුණක්’ තියෙන බව අප දන්නවා. නමුත් පළමු වැනි ලෝක යුද්ධයට කිසිදු අරමුණක් තිබුණේ නැහැ. යුද විචාරකයන් විසින් මේ යුද්ධය හඳුන්වනු ලබන්නේ ඉබාගාතේ ගිය යුද්ධයක් ලෙස. එහෙත් ජීවිත කීයක් ඉන් මිහිමතින් තුරන් වුණාද?

වෝටර්ලූ සටන් බිමේ ඇතිව තිබූ මහා විනාශය දුටු ජයග්‍රාහී පිලිහි වෙලිංටන් ආදිපාදවරයා, “යුද්ධයක් පරාජය වීමේ දුකට නොදෙවැනි දුක වන්නේ යුද්ධයක් ජයග්‍රහණය කිරීම යැයි කීවා. ඉතිං යුද්ධයකින් දිනන පාර්ශ්වයක් තිබේද?

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යළිත් වරක් ගැටුම් ඇවිලීයෑම නිසා මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුව තිබෙනවා. දැනට දශක 7කට වැඩි කාලයක් පුරා පවතින මෙම ගැටුම හේතුවෙන් දෙරටේම දහස් සංඛ්‍යාත ජනතාවකට ජීවිත අහිමි වුණා. ඒ වගේම අහිමිවෙමින් තියෙනවා.

වර්ෂ 1948 දී ඊශ්‍රායලය බිහිවූ දා පටන්ම මේ කලාපය තිබෙන්නේ ගිනිමැලයක් අසළ තිබෙන පැට්‍රෝල් ටැංකියක් වගේ කියලයි බොහෝ දෙනා කියන්නේ.

අහස උඩින් පියාඹා එන රොකට් සහ ෂෙල් වෙඩි සමහරුන්ට පෙනෙන්නේ මල්වෙඩි වගේ. එහෙත් ඒවා බිමට පතිත වෙන්නේ සියදහස් ගණනින් ජීවිත අහිමි කරමින්.

ගෝත්‍රික යුගයේ සිට ආ ගමන් මගේ මිනිසා අද සිටින්නේ දියුණු යැයි සම්මත සියවසේ. එහෙත් එවන් මිනිස්සු මෙතරම් අකාරුණික ලෙස යුද්ධය විකල්පයක් සේ තෝරාගන්නේ කෙසේද?

“යුද්ධය, එහි අවශ්‍යතාවය හෝ යුක්තිසහගත කිරීම අපරාධයක් නොවන බව කිසි විටෙකත් නොසිතන්න” යනුවෙන් අර්නස්ට් හෙමිංවේ කී ප්‍රකාශය සෑම හදවතකම සටහන්ව තිබිය යුතුය.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment