යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් පරදිති

238

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර පෙරේදා (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිල අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඇෆ්ගනිස්තානු යොවුන් කණ්ඩායම ජය ගත්තේය.

කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක ෂෙවෝන් ඩැනියල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද ශ්‍රී ලංකා ඉනිම 36 වැනි පන්දුවාරය අවසන්වීමට මත්තෙන් නිමා කිරීමට ඇෆ්ගනිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. එම පහසු ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානු කණ්ඩායම 33 වැනි පන්දුවාරයේ 3 පන්දුවට ජයග්‍රහණය සනාථ කරන විටත් කඩුලු 6 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

අභියෝගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් නොතිබීම නිසා පන්දු යවන්නන්ට මෙහිදී කළ හැකි කිසිවක් නොවීය. ඒ අතරින් වාසිය තමන් වෙතට හරවාගත් ඇෆ්ගනිස්තානු පිලේ මැද පෙළින් පැමිණි නුමන් ෂා පන්දු 67 කදී වේගවත් ලකුණු 72 ක් ලබා ඇෆ්ගනිස්තානු පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරගමන්කරුවා බවට පත්වූවේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණු ෂාගේ ඉනිම හැරෙන්නට එම ඉනිමේ කැපී පෙනෙන යමක් නොවීය.

ශ්‍රී ලංකා පිලේ පළමු පිතිකරුවන් 8 දෙනා අතරින් ලකුණු 15 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ හිරාන් ජයසුන්දර (21) සහ චමත් ගෝමස් (16) පමණි. මෙම තත්ත්වය මත පළමු කඩුලු 8 ම ලකුණු 86 කදී බිඳ වැටී විටෙක ලකුණු 100 සීමාවද ඉක්මවා යෑම අසීරු තත්ත්වයක ශ්‍රී ලංකා පිල පසුවිය. කෙසේ වෙතත් පන්දු යවන්නන් ලෙසින් එක්ව සිටි අවසන් පිතිකරුවන් තිදෙනා වූ විහස් තෙව්මික (33), දුවිදු රණතුංග (28) සහ විශ්ව ළහිරු (13) තිදෙනා එක්ව ලකුණු රැස් කිරීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 161 ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 36.5 කදී සියලු දෙනා දැවී ලකුණු 161 යි – (විහස් තෙව්මික 33, දුවිඳු රණතුංග 28, විශ්ව ළහිරු 13, හිරාන් ජයසුන්දර 21, චමත් ගෝමස් 16, ෆරිඩූන් දවොදසායි 30/3, කම්රන් හොතක් 26/3, ඛලීල් අහමඩ් 35/1, යමා අරාබ් 36/2, මොහොමඩ් හරූන් 17/1)

ඇෆ්ගනිස්තානු යොවුන් පිල පන්දුවාර 32.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 162 යි – (නුවන් ෂා 72, අලී අහමඩ් 25, ජම්ෂිඩ් සද්‍රාන් 22, හසබුල්ලා ඩොරනි 19, මොහොමඩ් හරූන් 18, විශ්ව ළහිරු 19/1, විහස් තෙව්මික 31/1, තීරක රණතුංග 14/1, දිනුර කලුපහන 27/1)

advertistmentadvertistment
advertistmentadvertistment