මහ දවල් මංකොල්ලය

870

වසංගත රෝගයක් පැතිරයෑම යනු ආණ්ඩුවේ රෝහල්වලට සාපයකි. පුද්ගලික රෝහල්වලට ආශිර්වාදයකි. ඩෙංගු වසංගතයක් ලෙස පැතිරයෑමට පටන්ගෙන ඉතා සුළු කලක් ඇතුළත ආණ්ඩුවේ රෝහල් over flow වෙයි. රෝහල් ඇඳන් උඩත් ඇඳන් යටත් රෝහල් කොරිඩෝ දිගේත් පුටු උඩත් ලෙඩ්ඩු සිටිති. ඇතැම් විට රට ජාතියට ගුණමකුකම් කරමින් හැසිරුනද රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙවැනි අවස්ථාවල කර අරින්නේම නැත. ඔවුහුද හෙදියෝද සාත්තු සේවකයෝද රසායනාගාර පරීක්ෂකවරුද එක පිම්මේ වැඩ කරමින් ලෙඩුන් ගොඩදැමීමට අප්‍රමාණ උත්සාහයක යෙදෙති. ආණ්ඩුවේ රෝහල්වල ඉඩ නැතිවූ වහාම මිනිසුන් කොහොමහරි රිංගන්නේ පෞද්ගලික රෝහල්වලටය. ඇතැම් පෞද්ගලික රෝහල් යනු ලෙඩා පණ පිටින් සිටියදීම ඔහුගේ හෝ ඇයගේ අතුණු බහන් එළියට ගෙන ඇපයට තබාගන්නා තැනකි. බිල නොගෙව්වොත් හෝ බිලේ හිඟ මුදලක් තිබුණොත් ලෙඩාට ගෙදර යෑමට සිදුවන්නේ අතුණු බහන් ටික රෝහලේ තිබියදීය. රෝහලේ බිල settle කළ විට අතුණු බහන් ටික නැවත ලබාගැනීමට පුළුවන. ඇතැම් පෞද්ගලික රෝහල් ලෙඩෙක් මළ විට මෘත දේහය භාරකරුවන්ට දෙන්නේ අන්තිම සතේට බිල ගෙවීමෙන් පසුවය. මේ අතර වසංගත රෝග පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා අති විශාල මිල ගණන් අය කිරීමටද සමහර පුද්ගලික රෝහල් සහ වෛද්‍ය පරීක්ෂණාගාර කටයුතු කරති. වසංගතයක් තියෙන වෙලාවට මිනිසුන් මිල ගණන් ගැන තැකීමක් කරන්නේ නැත. හැබැයි වසංගතය නිම වී රට යථා තත්ත්වයට පත්වූ කල්හි පුද්ගලික රෝහල් සහ පෞද්ගලික රසායනාගාර කරන කොල්ලය පිළිබඳ ආරංචි පැතිර යන අතර එතැන් සිට ආණ්ඩුව පරීක්ෂණ පවත්වන්නට පටන්ගනී. මේ අනුව පූර්ණ රුධිර පරීක්ෂණයක් සඳහා ආණ්ඩුව පනවා ඇති රුපියල් 400 ක මුදල වෙනුවට රුපියල් 550 ක් අයකළ නුවරඑළියේ පිහිටි පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කරන ලදී. මේ ආකාරයෙන් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර පරීක්ෂණය සඳහා කළුකඩ මිලට වැඩකළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර නමයකට පසුගිය දින කිහිපය තුළ රුපියල් ලක්ෂ 70 ක දඩ නියම කර ඇත. මේ අතරින් එක පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් ගෙවීමට සිදුවිය.

මේ රටේ පුද්ගලික රෝහල් රෝගීන් සමග කරන ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ලාභයක් උපයන්නේ කොවිඩ් 19 පැතිර තිබූ වකවානුවේදීය. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක්ම පළමු වැනි සුමාන දෙකෙන් පසු කොවිඩ් වසංගතය පැත්තකට වීසිකර ජනතාවට නිදහසේ වැඩ කිරීමට ඉඩ සැලසීය. මෙහිදී එම ආණ්ඩුවල ප්‍රතිපත්තිය වූයේ ඉස්පිරිතාලේ යන එකා ඉස්පිරිතාලේ ගියාවේ, මැරෙන එකා මැරුනාවේ, සනීප වෙන එකා සනීප වුණාවේ යන සරල අදහසය. මේ අනුව එම රටවල ජනයා මාස්ක් එක දමාගෙන වැඩට පැමිණි අතර නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වූහ. එබැවින් ඉතා කෙටි කලක් තුළ එම රටවල්වලට ආපසු ගොඩඒමට හැකි විය. එහෙත් ලංකාවේ ආණ්ඩුව මේ වසංගතයට ඕනෑවට වඩා බියවිය. ඒ නිසා ලාංකිකයන් වැඩි දෙනාට ගෙවල්වලට වී කුද ගසාගෙන සිටීමට හැකි පරිදි දීර්ඝ කාලයක් රට වසා තැබීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ වැහිල්ල තවදුරටත් තිබුණේ නම් අපගේ මිනී පෙට්ටිය වසා ගැනීමද අපටම කරන්නට සිදුවේ. කොවිඩ් වසංගතය නිසා පුද්ගලික රෝහල්වල සහයෝගය රටට අත්‍යවශ්‍ය විය. කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් උතුරා යනවිට එවකට වසා දමා තිබූ විශාල හෝටල් කුලියට ගත් පෞද්ගලික රෝහල් ඒවායේද රෝගීහු පදිංචි කළහ. මෙවැනි ඇතැම් හෝටල් හරක් මඩු හා සමාන විය. මේ රෝහල්වලට සෙනඟ ඇද්ද යාන වාහන ද හඩුවී පරණ වී නන්නත්තාර වී තිබිණ. මෙවැනි ඇතැම් පෞද්ගලික රෝහල් හරක් මඩු හා සමාන විය. ඒවායේ ලෙඩුන්ට කෑමට ලැබුණේ කඩෙන් ගෙනා බත් පාර්සල්ය. කොවිඩ්වලට බෙහෙත් නැත. එබැවින් වෛරසය ශරීරය තුළ පැලපදියම් වී මෝරා ගොස් මිය යන තුරුත් මාසයක පමණ කාලයක් පෞද්ගලික රෝහල්වල ගත කිරීමට ලෙඩුන්ට සිදුවිය. ඇතැම් විට මේ මාස දහය අවසානයේ රෝහල් බිල රුපියල් ලක්ෂ 15 ඉක්ම වීය. රෝහල් කාමර ගාස්තු, ඇඳට දමන රෙද්දට ගාස්තු, පොරවන රෙද්දට සහ කොට්ට උරවලට ගාස්තු, TV එකට ගාස්තු, නර්ස්ලාට ගාස්තු, ඖෂධ සඳහා වන ගාස්තු, ඉන්ජෙක්ෂන් සිරින්ජ්, ප්ලාස්ටර්, බැන්ඩේජ්, ලෙඩා බැලීමට එන දොස්තරගේ විසිටින් ගාස්තු, රසායනාගාර පරීක්ෂණ සඳහා වන ගාස්තු යනාදී වශයෙන් අතිශයින්ම විවිධාංගීකරණය වූ ගාස්තු ක්‍රමයක් පෞද්ගලික රෝහල් වැඩි හරියක ක්‍රියාත්මක වේ. තවත් පෞද්ගලික රෝහල්වල මේ සියලු ගාස්තු, කාමර ගාස්තුවලට සමරූපව වැඩි කරනු ලැබේ. විශේෂයෙන් අගනුවර රෝහලක කාමර ගාස්තුව වැඩි නම් සෙසු සියලුම ගාස්තුද ඊට සමපාතව වැඩි වෙයි. කොවිඩ් වසංගත කාලයේදී කොවිඩ් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් සුවිශාල මුදලක් කොල්ලකා ගැනීමට ඇතැම් රෝහල්වලට හැකිවිය. රට කවර තත්ත්වයකට ඇද වැටුනත් පෞද්ගලික රෝහල් කොවිඩ් නිසා පහසු ලාභයක් වාර්තා කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලංකාවේ රෝහල් නියාමනය කරනු ලැබේ. මේ නියාමනයේ කන ඇතුළෙන් කුඩයක් අරගෙන රිංගා ගොස් එහා කනෙන් පැමිණීමට පෞද්ගලික රෝහල්වලට පුළුවන. පෞද්ගලික රෝහල යන සංකල්පය තිබිය යුත්තේ ලෙඩ රෝග පාවිච්චි කර ගොඩ ඒමට නොවන බව අපගේ විශ්වාසය වේ. එය මහත් සේ චර්යා විරෝධීය.

advertistmentadvertistment
advertistmentadvertistment