රට බිත්තරේ පරීක්‍ෂණ හිරවේ හිඟයකට දොර ඇරේ !

186

ආනයනික බිත්තර රේගුවෙන් නිදහස් කිරීමට අවශ්‍ය පරීක්‍ෂණ වාර්තා සති ගණන් ප්‍රමාදවීම නිසා නැවත වරක් බිත්තර හිඟයක් වෙළෙඳ පොළ තුළ නිර්මාණය වීමට ඉඩ ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

පසුගිය සිකුරාදා (16 දා) වරායට ගෙන්වු බිත්තර මිලියන 02 ක ප්‍රමාණයක් මුදාහැරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇතත් එම වාර්තා ලබාදීමට හැකියාව ලැබෙන්නේ හෙට (23 දා) බවට දැනුම් දී ඇතැයි වලිසුන්දර මහතා “දිවයින”ට ඊයේ (21 දා) පැවසීය.

රේගුවේ පවතින බිත්තර මිලියන 02 ට අමතරව තවත් බිත්තර මිලියන 02 ක් පෙරේදා (20 දා) වරායට පැමිණි බවත් තවත් බිත්තර මිලියන 02 ක් පැමිණෙන බවත් ඒ මහතා කීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් සතියකට බිත්තර මිලියන 06 ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ ආකාරයෙන් බිත්තර ආනයනය කිරීමට හැකියාව ලැබුණහොත් ලබන මාසය වනවිට බිත්තරයක වෙළෙඳ පොළ මිල රුපියල් 44 ට අඩුකර ගතහැකි බවත් ඒ මහතා කීය.

ආනයනික බිත්තර ලබාගැනීම සඳහා බේකරි හිමියන්, හෝටල් හිමියන් මුදල් ගෙවා බලාගෙන සිටින බවත් ඔවුන්ට ආනයනික බිත්තර ලබාදීම ප්‍රමාද වුවහොත් මෙරට බිත්තර නිෂ්පාදකයින්ගෙන් බිත්තර වැඩි මිලට හෝ ලබා ගැනීමට ඔවුන්ට සිදුවන බවත් එවිට නැවත වෙළෙඳපොළේ බිත්තර හිඟයක් ඇති විය හැකි බවත් ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය දුරකථන ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment