රසායනික පොහොර තහනමෙන් වී අස්වනු සියයට 53 කින් බැහැලා

109

ගෝඨාභය රාජපක්‍ෂ පාලන සමයේ (2021 මහ කන්නයේ) රසායනික පොහොර භාවිතය තහනම් කිරීම නිසා එම කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති බව සමීක්‍ෂණයකින් හෙළි වී ඇත.

2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනමත් සමඟ වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් 2021 අවසාන කාර්තුවේ හා 2023 මුල් මාසය තුළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් මෙම සමීක්‍ෂණය සිදුකරනු ලැබීය.

වී වගාවට, එළවළු වගාවට, අර්තාපල් හා මල් වගාව යන අංශ සම්බන්ධයෙන් සමීක්‍ෂණය සිදුකර තිබේ. ඒ අනුව 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනමත් සමඟ සෑම අංශයකම විශාල කඩාවැටීමක් මෙන්ම අස්වනු අවම වීමක් සිදු වී ඇති බව සමීක්‍ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

අර්තාපල් හා අනෙකුත් බෝග වර්ගවල අස්වනු සියයට 52 කින්ද, එළවළු වගාව සියයට 57 කින් ද අස්වනු අඩු වී ඇති අතර සියයට 86 ක පමණ පිරිසක් මල් වගාවෙන් ඉවත් වී ඇති බව ද අනාවරණය වී ඇත. මේ අතර බඩඉරිඟු සියයට 68 ක්, ලොකු ලූනු සියයට 52 ක්, අර්තාපල් සියයට 52 ක්, මිරිස් අස්වැන්න සියයට 43 කින් ද වැටකොළු වගාව සියයට 62 කින් ද, ගෝවා වගාව සියයට 61 කින් ද, බෝංචි වගාව සියයට 54 කින් ද, බණ්ඩක්කා වගාව සියයට 49 කින් ද, වම්බටු වගාව සියයට 42 කින් ද පහත වැටී ඇති බව හෙළි වී ඇත.

රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් කාබනික පොහොර භාවිතය සියයට 57 කින් ඉහළ ගොස් ඇති අතර බඩඉරිඟු වගාවේ කාබනික පොහොර භාවිතයට සියයට 5 ක් වුවද, එය සියයට 47 දක්වා ඉහළ ගොස් ඇත. මේ ආකාරයෙන් අනෙකුත් වගාවන් සඳහා ද කාබනික පොහොර භාවිතය වැඩි වී ඇති බව හෙළි වී තිබේ.

කෙසේ වෙතත් ගොවිතැන තුළ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර ද යෙදිය යුතු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment