රාජ්‍ය පරිපාලනයට ඇවිත් උමාරා ප්‍රකාශයක් දෙයි – ‘මහතා’ යැයි නොකී බව කියයි

592

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ මහත්මිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවසීය.

මෙම සිද්ධිය සම්න්ධයෙන් උමාරාට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සංගීත) යන අයගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. නිදහස් දින සැමරුම් උත්සවවලදී ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ වරයාගේ (සංගීත) උපදෙස් මත සිදුකරනු ලබයි.

උමාරාගේ ප්‍රකාශය මගින් තමා ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචන ප්‍රකාශ නොකළ බවත් උච්ච ස්වරයෙන් ගායනය සිදුකළ බවත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ගායනය විiුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමේදී ෆීල්ඩ්බැක්වීම (ප්‍රතිරාවය) නිසා ‘මාතා’ යන වචනය ‘මහතා’ ලෙස ප්‍රචාරය වෙන්නට ඇතැයි ඇය ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ (සංගීත) ප්‍රකාශය අනුව ජාතික ගීය මධ්‍යස්වරයෙන් ගායනා කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන බව කියයි. මේ සම්බන්ධයෙන් විමර්ශන අංශය සකස් කරන වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක මහතාට මේ සතිය ඇතුළත ලබාදෙන බව මුතුගල මහතා පැවසීය. අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට අමාත්‍යාංශය අදහස් කරගෙන සිටී.

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවීමත් සමග උමාරා සිංහවංශ මහත්මිය ෆේස්බුක් ගිණුමේ සමාව ඉල්ලා සටහනක් ද යොදා තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment