රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…

4658

අද ලෝක ළමා දිනයයි.. එහෙයින් අද පමණක් නොව හෙට දිනයේදීත් රට පුරා බොහෝ ආයතන විවිධ සංවිධාන, ‘වැඩිහිටියන්’ සමග එක්ව ළමයින්ට අහිමි ලෝක ළමා දිනය සමරන බව නිසැකය. මේ වේදිකා මත හිඳ දරුවන් ගැන පුරසාරම් දොඩවන දවසය… වැඩිහිටි ඔළුවලින් දරුවන් ගැන ව්‍යාපෘති හදන දවසය. ඒ ඊළඟ අවුරුද්දේ ළමා දිනය එළඹෙන තුරු කල් මරන්නටය.

එහෙත් ළමයින්ට හිමි අයිතිවාසිකම් එලෙසම හිමිවෙනවාද යන්න විමසීමට කිසිවකුත් නැත. එය දරුවන්ගේ ‘අවාසනාවය’ දේශපාලකයන්ගේ, වගකිවයුත්තන්ගේ ‘වාසනාවය’.

එක සීරුවට ඇද හැලෙන වැසි මැද, ගුලිව නිදන්නට සිතෙන සීත මීදුම මත, මඩ ගොහොරුවක් බවට පත්වූ පාසලක ඉගනුම ලබන දරුවන් පිරිසක් ගැන ඔබ කියැවිය යුත්තේ එබැවිනි. රටේ සමස්ත අධ්‍යාපනය ගැන පාලක පැලැන්තිය දක්වන සැළකිල්ල කෙබඳුද යන්න තේරුම් බේරුම් කර ගැනීමට, අනේක විධ දුක් පීඩා මැද ‘අකුරු කරන’ මේ දරුවෝ කදිම සාක්ෂියක් වන්නාහ.

කෝවිලේ ඉස්කෝලේ

හපුගස්තැන්න වැවිලි සමාගමේ හැදර්ලි වතුයායේ ඩිප්ඩීන් වත්තේ අංක දෙක කොටසේ ශ්‍රී පත්තිනි අම්මාන් දේවස්ථාන ශාලාව දෑ අවුරුද්දකුත් දෙමසක පටන් ‘අනාථ’ දරු පිරිසකට සෙවණ දෙන්නේය. මොවුන් අනාථ දරුවන් වී ඇත්තේ මවුපියන්ගේ පිහිට අහිමි නිසා නොව අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට ඇති අයිතිය අහිමි කොට ඇති බැවිනි. නිවිතිගල අධ්‍යාපන කලාපයේ එක් මායිමක පිහිටා ඇති ඩිප්ඩීන් දෙමළ විද්‍යාලය එම ප්‍රදේශයේ ඇති එකම දෙමළ මාධ්‍ය පාසලයි.

මූලික පහසුකම් සහිත අංග සම්පූර්ණ පාසල් ගොඩනැඟිල්ලක් හිමිව තිබුණ ද නීති විරෝධී පතල් කැණීම් නිසා එම භූමිය ගිලා බැසීමට සහ නාය යෑමේ අවදානමකට ලක්ව ඇත. එය 2021 වසරේ ජූලි මාසයේ පන්ති කාමරයක පැල්මක් නිරීක්ෂණය වී විදුහල්පති විසින් ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයට කළ දැනුම් දීමකට අනුව හඳුනා ගෙන ඇත. එම ගොඩනැඟිල්ලෙන් ඉවත් වූ දා සිටම කොතෙකුත් ඉල්ලීම් කළ ද තවමත් පාසල් ගොඩනැඟිල්ලක් හෝ ඒ වෙනුවෙන් වෙන් කළ ඉඩමක් හෝ ලැබී නැත. වනාන්තර සීමාවේ ඇති පාසලට ඉඳි කඩුල්ලක, ඉනි වැටක හෝ ආරක්ෂාවක් සපයා ගැනීමට නොහැකි වී ඇත්තේ භූමියේ භාරකාරත්වය ඇත්තේ කෝවිල සතුව බැවිනි.

රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…
මඩ ගොහොරුවක් වී ඇති පාසල

“අවුරුදු දෙකයි මාස දෙකක් වෙනවා අපි මේ ගොඩනැඟිල්ලට ඇවිත්. අපි ඉඩමක්, පාසල් ගොඩනැඟිල්ලක් එදා ඉඳන් ඉල්ලනවා. තාම අපේ ඉල්ලීම්වලට සතුටු දායක උත්තරයක් ලැබුණේ නෑ. පාසල පවත්වාගෙන යන්නේ වැවිලි සමාගම් යටතේ පාලනය වෙන ඉඩමක. පාසලට එන්නෙත් වැඩිහරියක් ඒ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ ළමයි. ඒත් වැවිලි සමාගම පාසල පවත්වන්න සුදුසු ඉඩමක් ලබා දෙන්න කැමැත්තක් නැහැ. ඔවුන් මීටත් වඩා දුරින් පිහිටි කැලෑබඳ ප්‍රදේශයකින් පාසල සඳහා ඉඩක් වෙන් කරන්න සූදානම් වෙනවා. ප්‍රධාන මාර්ගයට මායිම් වෙලා තමයි අපේ කලින් පාසල තිබුණේ. අපි ඉල්ලීම් කළෙත් මාර්ගයට මායිම් වෙලා තියෙන ඉඩමක් ලබා දෙන්න කියලා. වැවිලි සමාගම් ඒකට කැමති නෑ. මේ පෞද්ගලික ඉඩම් නෙවෙයි. ප්‍රාදේශීය වැවිලි සමාගම් මගින් පාලනය වන වතු පොදු කටයුතු සඳහා නිදහස් කරන්න ඕන. මෙම ඉඩම්වල ස්වර්ණමය කොටස් හිමි කරු ලෙස ක්‍රියා කරන්නේ මහා භාණ්ඩාගාර ලේකම්. පාසලට ඉඩමක් ලබා දෙන එක කරන්න අපහසු දෙයක් නෙවෙයි. මීට පෙරත් යම් යම් ගැටලු අවස්ථා මතු වන විට ඇතැම් ආයතන සහයෝගය දක්වන්නේ අවම වශයෙන්. පෙර දී පාසල පැවැත් වූ ස්ථානයේදී පාසල් කටයුතුවලට බාධා වෙන ආකාරයට පාසල් ආරම්භ වූ මොහොතේ පටන් අවසන් වන මොහොත දක්වා පාසලට ගල් ප්‍රහාර එල්ල කරනවා. ඒ සම්බන්ධව පැමිණිලි කළාම පොලිස් නිලධාරීන් කිව්වේ ගල් ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් අල්ලා ගෙනවිත් භාර දෙන්න කියලයි.

රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…

වරින් වර අපේ ඉල්ලීම් නිසා නිලධාරීන් පැමිණෙනවා. පසුගිය මාසයෙත් ජානක වක්කුඹුර ඇමැතිවරයා ඇවිත් ශාලාව වටේ දැල් ආවරණයක් යොදන්න මැන ගෙන ගියා. ඒ වගේම පාසලට ඉඩමක් ලබා දෙන බව පැවසුවා. ඒ පොරොන්දු දෙකම මේ වතාවෙවත් ඉෂ්ට කරයි කියලා අපි හිතනවා. තව දෙයක් මතක් කරන්න ඕන. කොහෙන් හෝ ඉඩමක් නෙවෙයි අපිට ඕන පාසලේ දරුවන්ට, ගුරුවරුන්ට ආරක්ෂිතව යන්න එන්න පුළුවන් පහසු තැනකින් ඉඩමක්, ගොඩනැඟිල්ලක්.

මේ ගොඩනැඟිල්ලෙ දිගටම රැඳෙන්න පුළුවන් කමක් නෑ. මෙතන කිසිම ආරක්ෂාවක් නෑ. කෝවිලට බාහිර පුද්ගලයෙක් ආවත් අපිට විමසන්න බැහැ. කාලයක් පාසලේ බඩුබාහිරාදිය නැති වුණා. පස්සෙ ඒ ගැන දැනුම් දීලා ඉල්ලීම් කරලා මුරකරුවෙක් යෙදෙව්වා. ඒත් ඔහුට මූලික අවශ්‍යතා ටිකවත් ලබා දෙන්න අපිට බැහැ.”

රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…

පාසලේ වැඩබලන විදුහල්පති ලෙස කටයුතු කරන අයි. රාම්කුමාර් එසේ පවසන්නේ බිඳුණු ස්වරයෙනි. වසර දෙකක් අනුන්ගේ තැනක වැටී රාජකාරිය කරන්නට වීමේ වේදනාව, මහන්සිය ඔහුගේ වත පුරා තැවරී තිබේ.

“වතු පාසල් වැඩිදියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් ලබා ගැනීම” 2018 අංක 25 සහ 2018/07/06 දිනැති චක්‍ර ලේඛයට අනුව අක්කර දෙකක භූමි ප්‍රමාණයක් වතු සමාගම විසින් නිදහස් කළ යුතුව ඇතත් හපුගස්තැන්න වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂක එය ප්‍රතික්ෂේප කරයි. නමුත් මෙම භූමිවල ස්වර්ණමය කොටස් හිමිකරු ලෙස ක්‍රියා කරන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා යි. එබැවින් මෙම ඉඩම් පොදු කටයුතු සඳහා නිදහස් කළ යුතු ඉඩම් ලෙස සළකයි. රාජ්‍ය ආයතන දෙකක් අතර විසඳාගත යුතු ගැටලුවක වින්දිතයන් වී සිටින්නේ පාසල් ළමුන් ය. ඒ ද වතුකර කම්කරුවන්ගේ දරුවන් ය. වතුකර ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡාවට ලක් වුවද වතුකරයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය පිළිබඳ එතරම්ම කතාබහට ලක් නොවන්නේ පවතින ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යෑමේ අදහසින් වන්නට ඇත.

රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…

පොඩි දරුවන්ගෙන් වැඩ ගන්න කැමැති ලොකු මිනිස්සු

උප විදුහල්පතිනිය වන ඒ. ඇන්ජෙලා ජයරංජනී විසින් එම කාරණාව නැවත වතාවක් තහවුරු කළාය.

“පාසලේ නවය වසර දක්වා පන්ති පැවැත්වුණත් ගුරුවරු හය දෙනෙක් විතරයි ඉන්නෙ. ගොඩාක් දවසකට ළමයි වගේම ගුරුවරුත් අසනීප වෙනවා වැස්සට හිරිකඩ ඇවිත්. දක්ෂ ළමයි නවය වසරට විතරක් ඇවිත් නතර වෙනවා. සාමාන්‍ය පෙළ දක්වා පන්ති වැඩි කළා නම් උසස් පෙළ නැතත් වෙනත් වෘත්තීය පුහුණු පාඨමාලාවකටවත් ළමයින්ට යොමු වෙන්න තිබුණා. මේ පාසලට එන බහුතරයක් ළමයි නවය වසරෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරනවා. එයාලගෙ පවුල් පසුබිම දන්න නිසා නගරයේ පාසලට යවන්න කියලා ඉල්ලීම් කරන්න බෑ. ඉල්ලීම් කළත්, දෙමව්පියෝ උගන්නන්න ආස වුණත් ඒකට වත්කමක් නෑ. ගොඩක් ළමයි ඉස්කෝලේ ඉවර වෙලා ගිහින් රෑ වෙනතුරු, පොඩි පොඩි රස්සාවල් කරනවා. මිනිස්සුත් ඒ ගොල්ලන්ගෙන් වැඩ ගන්න කැමතියි. ලොකු මිනිස්සු තරම්ම මේ ළමයින්ට වැඩ කරන්න පුළුවන් වුණාට වැඩිහිටියන්ට තරම් ගෙවන්න ඕන නැති නිසා. පිරිමි ළමයි නම් ගොඩක් වෙලාවට නවය වසරට වෙනකන් එන්නෙත් නැහැ. සමහර ගෙවල්වල අයත් කැමතියි ඉස්කෝලේ නොගිහින් රස්සාවකට යනවට. දෙමව්පියෝ හැමෝම වගේ නූගත් අය. එයාලට ඉගෙනීමේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. එදා දවසෙ බඩගිනි නිවා ගන්න තිබුණා නම් එයාලට ඇති. අනාගත බලාපොරොත්තු, හීන ඒ ගොල්ලන්ට නැහැ. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙනියන්න පුළුවන් එකම දේ තමයි අධ්‍යාපනය. අධ්‍යාපන අයිතිය කප්පාදු කරලා ඒගොල්ලන්ට මොන දේවල් දුන්නත් වැඩක් නෑ. එයාලට ලැබෙන වැටුපවත් කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙන්නෙ මේ නූගත් භාවය නිසා. අපි කතාවට කිව්වට වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ කියලා එහෙම අයත් මේකේ ඉන්නවා.

පුංචි කාලෙම ගෙදර වැඩ, බාල සහෝදරයෝ බලාගන්න, පොඩි පොඩි රස්සාවල් කරන්න පුරුදු වෙලා ළමා කම ඉක්මණින්ම අහිමි වෙනවා. ඉගෙන ගත්තේ නැතත් ළමයි ඉස්කෝලෙට එනවා නම් මම කැමතියි. මොකද ඒ වෙලාවේ හරි ඒ ළමයි ළමයෙක් විදිහට ඉස්කෝලෙට වෙලා ඉන්නවා. සාමාන්‍ය පෙළ දක්වා පාසලේ පන්ති නැති නිසා සමාජ ප්‍රශ්න ඇති වෙනවා. පිරිමි ළමයි මත්ද්‍රව්‍ය වගේ දේවල්වලට පුරුදු වෙනවා, ඇබ්බැහි වෙනවා. ඒත් එක්කම මුදල් හොයන්න නීති විරෝධී ක්‍රියාවන්වලට පෙළඹෙනවා. ගැහැණු ළමයි නම් බාල වයස්කාර විවාහයන්ට ඇතුළත් වෙනවා. එහෙමත් නැත්නම් කිසිවකු හෝ අතින් අපයෝජනයට ලක් වෙනවා. සමහර අම්මලාට දරුවො ලැබෙන්නේ විවාහ නොවී. විවාහ වෙන්න වයස මදි. සමහර දරුවන්ගේ උප්පැන්න සහතිකවල දරුවගේ නමක් නැහැ. නම තියෙන තැන ඉරක් තියෙන්නේ. අපේ පාසලෙත් නමක් නැති දරුවො ඉන්නවා. ඒකයි අපි මේ තරම් මේ පාසලේ අවශ්‍යතාව පෙන්නලා දෙන්නෙ. අපි කිසිම වෙලාවක අපිට පහසුකම් ඉල්ලුවේ නෑ. මේකෙ ඉන්න හැමෝටම වගේ මාරු වීම් ඉල්ලන්න පුළුවන්. ඒත් අපි කවුරුත් ඒක නොකරන්නේ මේ දුක වෙන කෙනෙක් ඇවිත් දරාගන්න එකක් නෑ කියන සැකේ නිසා. අපි නොතෙමි ඉන්න පුළුවන් ආරක්ෂිත පාසල් ගොඩනැඟිල්ලක් විතරයි අපි ඉල්ලන්නේ”

රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…

නිලධාරීන්ට වඩා ඇයට මේ ගැටලුවේ අභ්‍යන්තරය වැටහෙන්නේ පීඩිත මිනිස්සුන් මැද උදේ සිට සවස් වන තුරු කල් ගෙවන නිසා වන්නට ඇත.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව සිව්දෙනකු සඳහා මාසයකට අවශ්‍ය මුදල ලෙස දක්වා තිබුණේ හැටතුන්දහසකි. වතු කම්කරුවකුගේ මාසික වැටුප තවමත් විසි දෙදහස් පන්සීයකි. මව පියා දෙදෙනාම රැකියාවට ගියත් සිව් දෙනෙක් සිටින පවුලකට සරිලන ආදායම සොයා ගැනීමට නොහැකිය. පාසල් උපකරණ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති මොහොතක එය තවත් දරුණු වන්නේ දරුවන් දෙදෙනකුට වඩා සිටින පවුලක, මව හෝ පියා අහිමි වූ අවස්ථාවකය. එසේත් නැතිනම් දෙමාපියන් සුරාවට සූදුවට නතු වී ඇති තත්ත්වයක් මතය.

එස්. සව්බාන්ගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකි. ඔහුට ද ආර්ථික අර්බුදය ජය ගැනීමට තරම් ශක්තියක් නොමැති විය. දරුවන්ගේ අධ්‍යාපනය කප්පාදු කර ඔවුන්ගේ කුසගින්න නිවන්නට කලින්ම තීරණය කළේ ය. නමුත් ඔහුගේ දරුවන් ඒ තරම් ලෙහෙසියෙන් පරාජය භාර ගන්නට කැමති වූයේ නැත.

“මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනාගෙන් දැන් ඉස්කෝලෙට යන්නේ එක්කෙනෙක් විතරයි. අනිත් අය නවය වසරට ගිහින් නතර වුණා. ඩිප්ඩීන් විද්‍යාලයේ තියෙන්නේ නවය වසර වෙනකල් විතරයි. ඊට පස්සෙ රක්වානට දාන්න ඕන. රක්වානට යන්න බස් එකේ පැය දෙකක් විතර යනවා. අපි බස් පාරටත් ටිකක් දුරින් ඉන්නෙ. ගෙදර ඉඳන් ඉස්කෝලෙ ළඟට ටිකට් එක රුපියල් දෙසීය පනහක්. එක ළමයෙක්ට දවසකට රුපියල් පන්සියයක් ඕන. ළමයි ඉස්කෝලේ යන වෙලාවට වත් ඉස්කෝලේ ඇරිලා එන වෙලාවට වත් සීටීබී බස් එකක් නැහැ. ළමයින්ට උගන්වන්න ආස වුණත් ඒ වියදම අපිට දරාගන්න බැහැ. කොරෝනා ආවට පස්සේ හැමදේම දරාගන්න බැරි විදිහට මිල ඉහළ ගියා. වියදම් වැඩි නිසා ඒ දවස්වල මම ළමයින්ව ගෙදර නතර කරගන්න හදද්දි මගේ දෙවෙනි පුතා මම වැඩ කරන තැනම රෑ වැඩට ගිහින් නංගිටත් එක්ක බස් එකට සල්ලි හොයාගෙන දිගටම ඉස්කෝලෙ ගියා. ඒ දවස්වල ඉස්කෝලෙ රැස්වීම් වලට ගියාම ගුරුවරු කියනවා ළමයට නින්ද යනවා කියලා. එයා ඉස්කෝලෙන් අයින් වෙනකල්ම ඒ රස්සාව කළා. එයා මේ අවුරුද්දෙ රක්වානට යන්න ඕන. ඒත් ආර්ථික ප්‍රශ්න නිසා ඉස්කෝල ගමන නවත්තන්න වුණා. මගේ දුවත් දැන් දහය වසරේ ඉන්න ඕන. ඒත් අපිට එයා රක්වානට යවන්න වත්කමක් නෑ. ඒක නිසා මම ඩිප්ඩීන් විද්‍යාලයේ විදුහල්පතිතුමා එක්ක කතා කරලා මේ අවුරුද්දෙත් නවය වසරටම යවනවා.

ගෑනු ළමයෙක් නිසා එයාගේ ආරක්ෂාව ගැන අපිට බයයි. අපි වැඩට ගියාම ගෙදර දුව තනියම දාලා යන්න බැරි නිසා ඉස්කෝලෙ යවනවා.”

එස්. සවුබාන් කියන්නේය.

සව්බාන්ගේ බිය සැබෑ පියවරුන් සෑම දෙනකුගේම සිත් වල ඇති වන සාධාරණ බියකි. වර්තමානයේ දරුවන් කෙතරම් අනාරක්ෂිත ද යන්න දිනකට වාර්තා වන සිදුවීම් වලින් අපිට තරමක් අනුමාන කළ හැක. නමුත් වතුකරයේ එවැනි වාර්තා නොවන සිද්ධි කෙතරම් තිබේද යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයක් බව සව්බාන්ගේ ප්‍රකාශයෙන් කියවේ.

ගුරුවරුන්ගෙන් දරුවන්ට කෑම වේලක්

“පහුගිය දවසක පී.එච්.අයි. මහත්තයා ඇවිත් කියලා ගියාලු ඉස්කෝලේ වතුර බොන්න සුදුසු නෑ කියලා. මට මතකයි ඕක මීට කලින් අවුරුද්දෙත් කියලා ගියා. බොන්න සුදුසු නැත්නම් ඒකට පිළිවෙළක් හදන්න ඕන. ගෙදරින් ගෙනියන වතුර එක ඉවර වුණොත් ඉස්කෝලෙදි බොන්න වතුරවත් නෑ. ඉස්සර සපත්තු කුට්ටමක් දුන්නා. දැන් අවුරුදු දෙකකින් ඒක ලැබුණෙත් නෑ. ඉස්සර නෙවෙයි දැන් තමයි ඒක දෙන්න ඕන. බිත්තරයක් දුන්න එක දැන් සතියකට බිත්තර කාලකට අඩු වෙලා. අපිටත් කරගන්න අමාරු කාලෙ තමයි මේ ලැබෙන දේවල් ඔක්කොම නැති කරන්නේ. ගුරුවරු ඔක්කොම වගේ කෑම ඇඳුම් වගේ දේවල් ගෙවල් වලිනුත් අපේ ළමයින්ට ගෙනත් දෙනවා. ඒ අය නිසා තමයි අපි මෙහෙමවත් ළමයි ඉස්කෝලෙ එවන්නෙ”

කුඩා දියණිය රැගෙන යෑමට පැමිණි මවක් පැවසුවේ සියලු ප්‍රශ්න එක මිටටය.

වසරේ දින තුන්සිය හැට පහෙන් දින තුන්සියයක්ම වැසි වැටෙන පෙදෙසේ, එයිනුත් වැඩිම දින ගණනක් පන්ති කාමරයේ තෙමෙන්නට සිදු වන පොඩිවුන්ට බීමට සුදුසු වතුර ටිකක් පාසල් භූමියේ නැති එකම කෙතරම් ඛේදනීය ද?

රෑට වැඩට ගිහින් උදේට ඉස්කෝලේ එන ළමයි…

“අපිට අංග සම්පූර්ණ පාසලක් තිබුණා. ඒක තමයි මේ පැත්තෙම ළමයින්ට දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගන්න තිබුණ එකම පාසල. ඊට පස්සෙ පාසල කෝවිලට අයත් ගොඩනැඟිල්ලකට අරගෙන ගියා. කෝවිලේ පූජාවක්, උත්සවයක් තියෙන දවසට පාසල පවත්වන්න බෑ.

ගොඩනැඟිල්ලක් කිව්වට බිත්තිවත් නැති නිකංම නිකං ශාලාවක් තිබුණේ. දෙමව්පියෝ එකතු වෙලා එක පැත්තක් බිත්ති බැන්දා. අනිත් පැත්තෙ බිත්තිය බැන්දොත් ඇතුළට කළුවරයි. ඒ ගොඩනැඟිල්ලට විදුලිබලය නෑ. ඉස්සර කෝවිලෙන් වයර් එකක් ඇදලා කරන්ට් එක ගත්තා. ඒත් ලයිට් බිල් වැඩි වුණාට පස්සෙ ඒකත් නැති වුණා. සමහර දවසකට ළමයි ගෙදර ඇවිත් කියනවා පොත් වල තියෙන අකුරුවත් පේන්නෙ නෑ කියලා. එස්. සන්මුගනාදන් මහත් කම්පාවෙන් පැවසුවේය. රක්වාන කඳුවැටිය පාමුල පිහිටි එම ප්‍රදේශය වසරේ වැඩි කාලයක් වර්ෂාපතනය ලැබෙන මීදුම අධික ප්‍රදේශයක් බැවින් එය අතිශයෝක්තියක් නොවේ.

විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි වයස අවු 18 අඩු සෑම කෙනකුම ළමයකු ලෙසත් ඔවුන් හට විශ්ව ළමා අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියේ සඳහන් සියලු අයිතිවාසිකම් හිමිවිය යුතු බවත්, විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි පළමු වන වගන්තියෙන් අවධාරණය කරනු ලබයි. වගන්ති 54 කින් සමන්විත මෙම ලියවිල්ලේ මූලධර්ම වලින් පිළිඹිඹු වන දරුවන්ගේ අයිතිවාසිකම් සෘජුවම වගන්ති 44 මගින් ජීවත්වීම, ආරක්ෂාව, සංවර්ධනය සහ සහභාගිත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සුරක්ෂිත කිරීමට අදාළ කාරණා ප්‍රකාශයට පත්කොට ඇත. ඊට එකඟව අපිදු වසර 68ක් තිස්සේ නානාප්‍රකාර අංග එකතු කරමින් විචිත්‍ර අන්දමින් ලෝක ළමා දිනය සමරන්නෙමු.

“ඩිප්ඩීන් ඉස්කෝලේ” වැනි කතන්දර ඒ විචිත්‍රවත් බව සුනු විසුණු කරන සුළුය …. අද ලෝක ළමා දිනය දවසෙත් ‘ඩිප්ඩීන් ඉස්කෝලේ’ හුදකලාව ඇත්තේ එහෙයිනි. හෙට දවසේ අනෝරා වැසි මැද සීත මීදුමට ගුලිව අකුරට යන්නේ ළමා දිනය අහිමි දරුවන්ය. එහෙවු දරුවන්ටද යහපත් හෙටක් තනන දා” ළමා දිනයකි.’ වැඩිහිටියන් ලෙස අප කළ යුතු වන්නේ ළමයාට ළමා කාලය නිදහසේ ගෙවන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමය. එවන් පරිසරයක ජීවත්වන දරුවන්ට හැම දවසක්ම ළමා දිනයකි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment