රේගු භාරයට ගත් වාහන 133ක විමර්ශන ලිපිගොනු අතුරුදන්

80

විවිධ අංශ විසින් සිදුකරනු ලබන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගු විමර්ශනවලදී රේගු භාරයට ගනු ලැබූ රථවාහන 435ක්, බහාලු 91ක් මෙම වර්ෂයේ (2023) ජනවාරි 31 වැනිදා වන විට පුද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන ඇති අංගනයක ගාල්කොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන් වාහන 261ක් සහ බහාලු 86ක් වසර 05කට අධික කාලයක සිට මෙකී අංගනයේ රඳවා තිබුණි.

විවිධ අංශ විසින් සිදුකරනු ලබන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගන්නා ලද, වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාර දෙන ලද හා රාජසන්තක කරනු ලැබූ වාහන හා බහාලු වෙන්දේසි හෝ අපහරණය කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා වර්ග අඩි 18000ක භූමිභාගයක් පුද්ගලික ආයතනයකින් කුලියට ලබාගෙන තිබුණි. 2015 වර්ෂයේ සිට 2020 කාලය දක්වා පමණක් රේගුව විසින් අදාළ සමාගම සමග විධිමත් ගිවිසුමකට එළඹ තිබුණි. ඉන්පසු 2023 ජනවාරි මස දක්වා අවස්ථා 05කදී කාලය දීර්ඝ කරමින් මෙම භූමිය ප්‍රයෝජනයට ගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

2015 වර්ෂයේ සිට 2023 ජනවාරි දක්වා කාලයේදී පෞද්ගලික ආයතනයට ගෙවූ සහ ගෙවිය යුතු මුළු කුලී මුදලේ එකතුව රුපියල් හත්කෝටි, හැත්තෑහතර ලක්ෂ අසූපන්දහස් පන්සිය හතලිස් අටක් (77,485,548) බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. වසර 05කට වඩා අධික කාලයක සිට ගාල්කොට ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමාව ගතයුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment