රොඞ්ඩාගේ වර්ණ-කුලය

372

රොඞ්නි වර්ණකුල, තම නිසඟ රංගන හැකියාවෙන් සුවහසක් ලාංකික රසික රසිකාවියන්ගේ ඇස කන වගේම මනසත් පිනවපු ප‍්‍රවීණ වගේම සුන්දර රංගන ශිල්පියෙක්.

 1981 ජුලි මාසයේ 24 වැනිදා ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙන් ප‍්‍රසිද්ධ වේදිකාවට පැමිණි රොඞ්නි පසුගිය ජුලි මාසයේදී තම කලා දිවියේ දශක හතරක් සම්පූර්ණ කළා.

 මේ දශක හතරක දිගු ගමන සමරන්න ඔහු මග බලාගෙන හිටියත් කොවිඞ් වසංගතය ඒ හීනයට ඉඩ දුන්නේ නෑ. නමුත් රොඞ්නි ඔහුගේ ජීවිත කතාවෙන් ඒ හීනය වෙනස් කළා. මොකක්ද මේ කතාව. රොඞ්නි මෙහෙම උත්තර දුන්නා.

 මගේ කලා දිවියේ 40 වැනි අවුරුද්ද සමරන්න විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කරගෙන තිබුණා. නමුත් කොවිඞ් වසංගතය නිසා ඒ සියල්ල අකා මකා ගියා.

 ඒ බලාපොරොත්තුව බිඳිලා යද්දි මගේ හිතට ආපු තවත් අදහසක් තමයි පොතක් ලියන එක. ඒක නිකම්ම පොතක් නෙමෙයි, මගේම ජීවිත කතාව. මගේ කතාව පොදු අත්දැකීමක් බවට පත්කරලා ලියන්න පටන් ගත්තා. ඒකට මට ඕනෑතරම් කාලයත් තිබුණා. දැන් මුද්‍රණ කටයුතු සිදුවෙනවා. මේ පොත නම් කළේ ‘රොඞ්ඩාගේ වර්ණ-කුලය’ කියලා. ඒ නම දැම්මෙ මේ පොතේ තියෙන්නෙ මගේම ජීවිත කතාව නිසා.

 තමන්ගෙ කලා දිවියේ 40 වැනි වසර සමරන්න තිබුණ බලාපොරොත්තු අකා මකා ගිය එක ගැන රොඞ්නි පසුතැවෙන්නෙ නෑ. ඔහුට දැන් අලූත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ඔහුගෙ ස්වයං ලිඛිත චරිතාපදානය.

 මම දැන් පදිංචිවෙලා ඉන්නෙ බෝපිටියෙ. නමුත් මගේ ගම පමුණුගම. පාසල් ගියේ පමුණුගම මහා විද්‍යාලයට. ඉතිං මගේ ලොකුම ආසාව තමයි මං ඉගෙන ගත්ත පාසලේ පිට්ටනියෙදි මගේ පොත ජනගත කරන එක. ඉදිරියේදි කාලය, දීපය, දේශය යථා තත්ත්වයට පත්වුණාම මගේ රසික රසිකාවියන් එකතුකරල සුන්දර සැන්දෑවක් ගතකරන්න පුළුවන් විදිහට මේ පොත එළිදක්වන්න සූදානමින් ඉන්නෙ.

රොඞ්ඩාගේ වර්ණ-කුලය



 ඇත්තටම මොනවද මේ පොතේ ඇතුළත් වෙන්නෙ?. රොඞ්නිට අපෙන් පැනයක්.

 පාසල් කාලයේදි, එදිනෙදා ජීවිතයේදි, ගමේ නගරයේදි මට ලැබුණ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒවා ඇත්තටම මම ලබපු අත්දැකීම් වුණාට බොහෝ වෙලාවට පොදු දේවල්. ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙන සිදුවීම්. ඒ දේවලූත් ඇතුළත්ව ඉපදුන දා ඉඳන්ම මේ වන තුරු මගේ ජීවිත කතාව තමයි මේ පොතට ඇතුළත් වෙන්නෙ. ඉතිං මම හිතනව පාඨකයන්ට ඒක වැදගත් වේවි කියල. සතුටින් කියවන්න කැමැත්තෝ කියවත්වා.

 කලාකරුවකුගේ ජීවිත කතාව එළිදැක්වෙන උත්සවය මොනවගේ වේවිද? ඒ ගැන රොඞ්නිගෙ අදහස මෙහෙමයි…

 මම නාට්‍යකරුවෙක්. ඒ නිසා මම එවැනි උත්සවයක් පවත්වද්දි ප‍්‍රාසාංගිකත්වයක් නොතිබුණොත් ඒක ලොකු අඩුවක්. ඒ අඩුපාඩුව මගහරවන්නත් සැලසුම් කරල තියෙනවා. කොහොම වුණත් මේ සියල්ල සොබාදහමට බාරයි. මොකද සැලසුම් හදන එක අපේ වැඩක් වුණාට ඒවා ක‍්‍රියාත්මක කරන්න පරිසරය හදල දෙන එක සොබාදහමේ කාර්යයක්. අදත් අපි ඒක අත්විඳිනවනෙ.

 සොබාදහම හරි අපූරුයි. නමුත් ඒ අපූර්වත්වය නොසලකන අය ගැන රොඞ්නි මෙහෙම කියනව.

 මේ දවස්වල සොබාදහම් කලාවත් එක්ක තමයි මම ජ්ීවත් වෙන්නෙ. ගෙදර වත්තෙපිටියෙ ගහකොල එක්ක තියෙන සම්බන්ධය වෙනදාට වඩා වැඩියි. ලොකුම කලාව සොබාදහම් කලාව. ඒක කලාගාරයක්. අපේ රට පාරාදීසයක්. නමුත් අවාසනාවට ඒ වටිනාකම තේරුම් නොගන්න පිරිසකුත් ඉන්නවා. ඒ කලාව ඔවුන්ට වැඩක් නෑ. ඉදිරි අනාගතයක් ගැන හිතන්නෙත් නෑ.



 * මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment