ලංවිම මස් කරන කංචනගේ උපදේශකට මසකට ඩොලර් 7300ක වැටුපක්

261

ජපන් ණයෙන් මුදල් වෙන් කරන්න කැබිනට් අනුමැති දීලා
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් – සංජීව ධම්මික

පසුගිය ජුලි 27 වැනිදා සිට විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට උපදේශකයෙකු පත් කර ඇති බවත් ඔහුට මසකට ඩොලර් හත්දාස් තුන්සියය බැගින් මාස අටහමාරකට වැටුප් සඳහා මුදල් වෙන් කර ඇති බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (14දා) පැවසීය.

පසුගිය ජුලි 27 දා මෙසේ ඩොලර්වලින් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද ඔහු කීවේය.

කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළ ධම්මික මහතා මෙසේ ද කීවේය.

මෙසේ පත් කරන උපදේශකයා මසයට දින 15ක් පමණක් කාර්යාලයට පැමිණිය යුතුයි. එවිට මාසික වැටුප ලෙස ඩොලර් 7300ක් ගෙවීමට නිර්දේශ කරලා තියනවා. වත්මන් විනිමය අනුපාතය අනුව මෙම උපදේශකයාට මාසිකව රුපියල් ලක්ෂ 24ක වැටුපක් ලැබෙනවා. ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් මෙම වැටුප තවත් ඉහළ යනවා. විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ කාර්යාලය නමින් අලුතින් පිහිටුවන ආයතනයේ ප්‍රධානියා ලෙස මේ ආකාරයට පත්කර ඇත්තේ ආචාර්ය ප්‍රදීප් පෙරේරා නමැත්තෙක්. ඔහු 2001 වර්ෂයේ පැවති රජයේ “රිගේනින් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියෙහි වැඩ කළ නිලධාරියෙක්. ඔහුගේ උපදේශක සේවාව මාස අටහමාරකට ලබාගැනීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ වැටුප් වෙනුවෙන් එම මුළු කාලයට රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් වෙන් කරලා. එම මුදල ඩොලර්වලින් ගෙවීමට ද නියමිතයි. මේ බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා.

ඔහුට අමතරව තවත් උපදේශකයන් හා නිලධාරීන් ගණනාවක් බඳවා ගැනීමට නියමිතයි. මේ ආකාරයට විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ කාර්යාලය හෙවත් ‘ලංවිම මස් කරන’ කාර්යාලයට පත් කරන නිලධාරීන්ට අධික වැටුප් ගෙවීම සඳහා විදේශ ණයක් භාවිත කිරීමට ද තීරණය කරලා. ජපානය ලබා දෙන ඩොලර් ලක්ෂ තුනක ණයෙන් මෙම උපදේශකයන්ගේ වැටුප් සඳහා වෙන්කිරීමට විදුලිබල අමාත්‍යවරයා තීරණය කරලා.

ඉහත නිලධාරියාට අමතරව ලංවිම මස්කරන කාර්යාලයට උපදේශකයන් ලෙස එක් වීමට එම්. සී. එම්. ෆර්ඩිනැන්ඩු, ආචාර්ය සුසන්ත පෙරේරා, තිලාන් විජේසිංහ, සාලිය වික්‍රමසූරිය හා මෙරිල් ගුණතිලක යන අයද අපේක්ෂාවෙන් සිටිනවා.

රට ණය ගෙවීමට නොහැකිව බංකොලොත් වී සිටින අවස්ථාවක විදේශ ණය ලබාගෙන එම මුදල් නාස්ති කිරීම පිළිබඳ රාජ්‍ය බලධාරීන් ඇස් වසා සිටීමෙන් පෙනී යන්නේ සියලු දෙනා මේවාට සම්බන්ධ බවයි.

මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා හෝ අල්ලස් දූෂණ කොමිසම නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ හෙයින් එම ආයතනවලට පැමිණිලි කිරීම ඵලක් වන්නේ නෑ.

විදුලි පාරිභෝගිකයන් සියලු දෙනා එක්ව මේ දූෂණයට එරෙහිව හඬක් නැගිය යුතුයි.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment