ලංවිම ලාභ ලබද්දී සහනයක් නොදීම අසාධාරණයි – විපක්ෂ නායක

53

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපයේ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති අතර එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එහිදී ‘මහජන බාරය’ යන මූලධර්මය යටතේ මහජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් විපක්ෂ නායකවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කළේය.

ජල විදුලි ජනනය ඉහළ යෑමත්, විදුලි ඉල්ලුම අඩු වුවද විදුලි ඒකකයක මිල සියයට 18 කින් වැඩි කිරීමත් නිසා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 52ක් ලාභ ලබා ඇති මේ මොහොතේ එම ලාභය විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී තවදුරටත් පීඩාවට පත් කරන බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබේ. මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට තුළ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා විදුලිය උත්පාදනය කිරීමේ හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බවත් පුනනර්ජනනීය බලශක්තිය හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබා දිය හැකි මොහොතක එය කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් රට තුළ නොමැති වීම විශාල

ගැටලුවක් බැවින් සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවයි.

එසේම මේ තුළින් විදුලි බිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහජන උපයෝගීතා කොමිසම වැඩකටයුතු සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙසේ ලැබූ ලාභය ජනතාවට ලබා දිය යුතු බවත් ඊට අමතරව දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලිය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවත්ය.

රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ නිවැරදි දත්ත විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ආයතන 2 සතුව ඇති දත්තයන්ගේ පරස්පරතා දක්නට ලැබෙන බවත් එවැනි පරස්පරතා තිබියදී විෂය භාර අමාත්‍යවරයා විවිධ අණපනත් ඉදිරිපත් කිරීම පුදුමසහගත බවත් විෂය භාර අමාත්‍යවරයාට කියන්නට ඇත්තේ හිට්ලර් කෙනකු නොවී මහත්මා ගාන්ධි කෙනකු වන ලෙසත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment