ලංවීම මස් කරන සැලසුම ජනක හෙළි කරයි – මහජන උපයෝගිතා කොමිසම වෙනුවට විදුලිබල කොමිසමක්

326

ලංවිම EPF කටයුතුත් සමාගමකට

බලාගාර ඇතුළු සියලු දේපළ සමාගම් 14කට

මේක ප්‍රතිසංස්කරණයක් නොවේ විකුණාගෙන කෑමක්

යෝජිත පනත මාධ්‍ය හමුවට

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ඇතුළු සියලු දේපළ පෞද්ගලික සමාගම් 14 කට පවරා දීමට නව විදුලිබල මණ්ඩල පනත මගින් යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (02 දා) අනාවරණය කළේය. එම කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී යෝජිත නව විදුලිබල පනතේ පිටපතක් මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා මෙසේද කීවේය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට අනුකමිටුවක් පත් කළා. එහි සාමාජිකයින් බොහෝ දෙනෙක් විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ප්‍රවීණයන්. එහිදී කැබිනට් මණ්ඩලය මගින් තීරණය කර තිබුණේ විදුලි සම්ප්‍රේෂණයට හා බෙදාහැරීමට පමණක් අදාළ වන යෝජනා සකස් කිරීමටයි.

මෙම කමිටුව මගින් මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පතේ පිටපතක් රහසිගතව මා අතට පත්වුණා. මෙහි ඉතා භයානක යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මෙම පනතට අනුව විදුලිබල මණ්ඩලයේ සමාගම් පනතට අනුව ආයතන 14 කට කඩලා මණ්ඩලය සතු සියලු නිශ්චල හා චංචල දේපල එම සමාගම්වලට පවරාදීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සියලු විදුලි බලාගාර පුද්ගලික සමාගම් යටතට පත්වෙනවා. එහි ඇති අනතුර මේ පාලකයින්ට නොපෙනීම අවාසනාවක්. දැන් බලමු නොරොච්චෝලේ බලාගාරය. ලංකාවේ විදුලි සැපයුමෙන් 40% ක් නිපදවන්නේ නොරොච්චෝලේ. එහි අයිතිය සමාගමකට පැවරීම මොනතරම් භයානකද?

ඒ වගේමයි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල් කාර්යයන් ඉටුකිරීමත් එක් සමාගමක් යටතට පැවරීමට යෝජනා වෙලා.

විදුලිබල ඇමැතිවරයා තමන්ගේ සීමාවෙන් පිට කටයුතු කරමින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර ඒ වෙනුවට විදුලිබල කොමිසමක් ඇති කිරීමට මෙම පනතෙන් යෝජනා කර තිබෙනවා.

ජල විදුලි බලාගාර පාලනය සමාගම් යටතට භාරදීමෙන් පසුව එම සමාගම් වලට අවශ්‍ය පරිදි ජලය නිකුත් කිරීමේ බලය ලබාදීමට මෙම පනතෙන් යෝජනාවී තිබෙනවා. මේ බලාගාර ඉදිකර තිබෙන්නේ ජනතාවගේ මුදලින්. එහෙම නම් කොහොමද ඒවා සමාගම්වලට පවරා දෙන්නේ.

විදුලිබල ඇමැතිවරයාට මහජන උපයෝගිතා කොමිසම හිසරදයක් වෙලා. ඔහු හැමවිටම උත්සාහ කළේ මෙම කොමිසම අහෝසි කිරීමටයි. යෝජිත නව පනත මගින් ඇමැතිවරයා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය අතට ගෙන තිබෙනවා.

ආණ්ඩුව කිව්වේ නව පනත සකස් කරන්නේ විදුලිබල මණ්ඩලයේ අලාභය පියවා ගන්න ක්‍රමවේදයක් සකස් කිරීමට කියලා. නමුත් මේ පනතේ එවැන්නක් නැහැ. මේක ප්‍රතිසංස්කරණයක් නොවෙයි. රජයේ දේපළ විකුණාගෙන කෑමට හදපු පනතක්. වහාම මේ පනත සංශෝධනය කිරීමට රජයට බල කළ යුතුයි.

ඡායාරූපය සහ සටහන – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment