ලබන 31 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ එයි: මංගල උත්සවවල මත්පැන් අවසර!

201
  • මඟුල් ගෙවල්වලට ශාලාවේ ධාරිතාවෙන් අඩක්
  • මළ ගෙයක වරකට 30කට අවසර
  • සාප්පු, ෆාමසි, සුපිරි වෙළෙඳසල්වලට ධාරිතාවෙන් 50%ක්

පවතින කොවිඞ් වසංගතය නිසා මංගල උත්සවවලදී මත්පැන් සංග‍්‍රහ කිරීම සම්බන්ධව මෙතෙක් පැවැති තහනම ඉවත්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවරගෙන ඇත.

ඊයේ (16දා) සිට මෙම මස 31 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම තහනම ඉවත්කර ඇති අතර උත්සව ශාලාවේ ධාරිතාවෙන් හරි අඩක් සඳහා පුද්ගලයන් සහභාගි කරවාගෙන මංගල උත්සවය පැවැත්වීමටද අවසර ලබාදී තිබේ. මෙතෙක් පැවැතියේ උත්සවශාලාව තුළදී නම් පුද්ගලයින් 200 ක් සඳහා සහ එළිමහන් සාද සඳහා පුද්ගලයින් 250 ක් ලෙසය.

එසේම අවමංගල උත්සවයකට මෙතෙක් වරකදී සහභාගි වීමට අවසර දී තිබූ 20 පිරිස 30 දක්වා වැඩිකර ඇත.

ආපනශාලා ඇතුළත එහි ධාරිතාවෙන් හරි අඩක් සඳහා පිරිස සහභාගි කරවා ගැනීමටද ආපන ශාලාවේ එළිමහන් සංග‍්‍රහ සඳහා පුද්ගලයින් 150 ක් දක්වා උපරිමයක් සහභාගි කරවා ගැනීමටද අවසර දී ඇත.

මෙතෙක් අවසර ලබාදී තිබුණේ ආපන ශාලාව තුළ 100 ක පිරිසක් සඳහා පමණි.

වෘත්තීය පුහුණු ආයතනවල එක්වරකදී එහි ධාරිතාවෙන් සියයට 50% ක් සඳහා පිරිස සහභාගි කරවා ගැනීමට ලබාදී තිබූ අවසරය සියයට 75% දක්වා ඉහළ දමා ඇත.

කඩ සාප්පු, ඖෂධ සැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා පාරිභෝගිකයන් වරකදී එහි ධාරිතාවෙන් 1/3 ක් පමණක් ඇතුළු කර ගැනීමට ලබාදී තිබූ අවසරය සියයට 50 ක් දක්වා දීර්ඝ කර ඇත.

ප‍්‍රදර්ශන සහ සම්මන්ත‍්‍රණ ශාලා සඳහා වරකදී සහභාගි කරවාගත හැකි පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් වරකදී ශාලා ධාරිතාවෙන් හරි අඩක් සහභාගි කරවා ගැනීමට ද අවසරදී ඇත.

එය මෙතෙක් පැවැතියේ වරකදී පුද්ගලයින් 150 කට පමණි.

උපකාරක පංති, සිනමා ශාලා ඇතුළු සෙසු අංශ සඳහා පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment