ලොකු අයගේ තියෙන ලොකු ම ප්‍රශ්නෙ මොකක් ද දන්නව ද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. හැමදේට ම බෙහෙත් දෙන මේ කාලේ මේ ලෙඩේටත් පෙත්තක් හොයා ගත්තොත් ළමයි ගොඩ.” එදිනෙදා හුරු පුරුදු, ජීවන අත්දැකීම්, සමාජ වටපිටාව සමග සරලව අමුණන ලේඛකයෙක් ලෙස සුරත් ද මැල් හඳුනාගත හැකිය. මේ ඔහු සමග සාහිත්‍ය හා වර්තමානය පිළිබඳ කෙරුණු කතා බහ ඇසුරින් සැකසුණු’ සංක්ෂිප්තයයි.

  • සිංහල නවකතාවේ නූතන තත්ත්වය කොහොම ද?

ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න තරම් මම අලුත් සිංහල නවකතා කියවන්නෙ නෑ. මම හිතන්නේ ඒ තුළ ම යම් තාක් දුරට ප්‍රශ්නෙට පිළිතුරත් තියෙනවා.

  • ඔබ නූතන සිංහල නවකතාව ගැන සෑහීමකට පත් නොවෙනවනම්, සිංහල සාහිත්‍යයේ උන්නතියට ඔබ දායක වෙන්නේ කොහොම ද?

පළමුවෙන් ම කියන්න ඕන මම සිංහල සාහිත්‍ය බේරගන්න පැමිණි දියසෙන් කුමාරයා නම් නෙමෙයි. ඔය දියසෙන් චරිතය රඟන වැඩි දෙනෙකුත් නිකන් දියසෙවල විතරයි. ආචාර්ය, මහාචාර්යවරුන් ගෙන් පටන් පර්යේෂකයින්, විචාරකයින්ගේ සිට කොටින් ම ෆෙස්බුක් දොන්ලා දක්වා හැමෝමත් උත්සාහ කරන්නේ සිංහල සාහිත්‍යයේ උන්නතිය උදෙසා වැඩ කරන්නනේ. ඒ අය කොයි තරම් විශිෂ්ට සේවයක් කරලා තියෙනව ද කියන එකත් අද සාහිත්‍ය තියෙන තැනින් අනුමාන කරන්නත් පුළුවන්නේ. ඒ රස්සාවට සෙනඟ වැඩි නිසා සිංහල සාහිත්‍ය දියුණු කරන්න දායක වෙන්න මගේ අදහසක් නෑ.

මම කරන්නේ මම දන්න එක ම දේ. ලියන එක. ඒක මගේ මාධ්‍යය. මගේ ජීවන, සමාජ හා දේශපාලන දැක්ම නිර්මාණයක පටලා කියන මාධ්‍ය තමයි ලේඛනය. ඒකෙන් සිංහල සාහිත්‍යයට මොකක් වෙයි ද මම දන්නෑ. මොකක් වුණත් මට කමකුත් නෑ.

  • සිංහල නවකතාවේ පිරිහීමට, සාහිත්‍ය සම්මාන බලපාන බව එක් විචාරකයෙක් ඔබ ගැන සඳහන් කරමින්ම පවසනවා. ඒ අතර සමහරු නවකතාවේ පිරිහීමට පොත් ප්‍රදර්ශනයේ බලපෑම ගැනත් පවසනවා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

කලාවක් විදියට ගත්තොත් ආඩපලි කීමෙන් නම් අපි ලෝකේ ඉහළ ම ස්ථානයක ඉන්නේ. ඒක හොඳ මානසික සහනයක් ගෙනෙන ක්‍රමෝපායක්. මොකද හැම තිස්සෙ ම වැරදිකාරයෙක් ඉන්නවා. ඒ වැරදිකාරයා හින්දා තමයි මේ ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. සම්මාන කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තත් උපරිම කත්ඇදිලි තියෙන ප්‍රපංචයක්. ලංකාවේ විනිශ්චය මණ්ඩල ගැන අමුතුවෙන් කතා කරන්න උවමනාවක් නෑනේ.

හැබැයි පසුගිය වකවානුව ගත්තොත්, සම්මාන නොලබපු හෝ නිර්දේශ නොවී මඟහැරුණු අතිවිශිෂ්ට කෘති මොනවා හරි තියෙනව ද? විනිශ්චය මණ්ඩලවලට සම්මාන දෙන්න වෙන්නේ තියෙන ඒවා අතරින් එකකට නේ. නැතුව කාගේ හරි හිතේ තියෙන ලෝකයේ විශිෂ්ටතම නවකතාවට නෙමෙයිනේ. අනික පළමුවෙන් ම තේරුම් ගතයුතු දේ තමයි සම්මාන කියන්නේ සාහිත්‍යය නෙමෙයි කියන එක. වික්‍රමසිංහට කවදාවත් හොඳම නවකතාවට සම්මානය ලැබිලා නෑ (මුල් කාලේ සම්මාන කියලා දෙයක් තිබිලත් නෑ). ඒත් ගොළු හදවතට ලැබුණා. ඉතින් මේ සම්මානයි, විනිශ්චය මණ්ඩලයි, පොත් ව්‍යාපාරිකයින් ගෙනුයි අපි වාඩුව අල්ලන්න හැදුවට, ඇත්තට ම ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක.

සරලව ම ගත්තොත් සිංහල නවකතාවට ඇති විශාල ම ගැටලුව වෙන මුකුත් නෙමෙයි, ප්‍රශස්ත නිර්මාණ නැතිකම. සිංහල ලේඛකයෝ කියන්නේ බංකොලොත් පඟරනැට්ටෝ හැටහුටහාමාරකට. හැටේ දශකයේ වික්‍රමසිංහයි සරච්චන්ද්‍රයි කරපුව ම ඊට දියාරු විදියට කරන එකට තමයි සමහරු සාහිත්‍යය කියන්නේ. සිංහල නවකතාවට අලුත් ජීවයක් නැත්තේ ලේඛකයෝ කියන මළ මිනිස්සු නිසා. එවුන්ට අලුත් තේමා නෑ. ආකෘති නෑ. ශෛලීන් නෑ. කොටින් ම කතාත් නෑ. එක එකාට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ. සාහිත්‍යය තියෙන්නේ ලේඛකයගේ අතේ. මනුස්සයෙක්ට කියව ගන්න පුළුවන් තරමේ නිර්මාණයක් කරන්න බැරි උන් වීදුරු ගෙවල් ඇතුළේ ඉඳන් ගල් ගහනවා.

ලේඛකයන්ගේ මෙලෝ රහක් නැති නිර්මාණ හෝදලා, සළුපිළි අන්දලා, උත්කර්ෂයට නංවලා සම්මාන දීලා, ඒක පෙන්නලා තවත් ටිකක් නග්ගලා, ඩිස්කවුන්ට් දීලා මිලත් අඩු කරලා, කොහාම හරි පොත් ටිකක් විකුණන එකට තමයි පොත් ප්‍රදර්ශනය කියන්නේ. එහෙම ගත්තම සම්මානයි සංවිධායකයොයි , ව්‍යාපාරිකයොයි දෙගොල්ලොම පව්. ලේඛකයෝ කියන මේ මෙලෝ රහක් නැති පාංකඩ, කලකාරයෝ විදියට සමාජයේ වැජඹිලා ඉන්නෙත්, පොත් ප්‍රදර්ශනය දවස් දහයේ සෙලිබ්‍රිටි කියන ජෝකර්ට ඇඳලා ඉන්නෙත්, සාහිත්‍ය කියන හිරයට අල්ල ගන්න අර කියන දෙහිගෙඩි දෙක හින්දම තමයි.

ලේඛකයෝ කියන මිනිස්සු ඉන්නකල් සිංහල නවකතාවට ජීවයක් නෑ - සුරත් ද මැල්
  • මෑත කාලීනව අපි දැකපු දෙයක් තමයි ලංකාවේ වැඩියෙන් ම අලෙවි වන පොත් දහයේ ඔබේ නවකතා තුනක් ම තිබෙනවා? ලංකාවේ ජනප්‍රිය ම ලේඛකයා කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්?

වැදගත්ම කාරණයක් තමයි, ලංකාවේ ජනප්‍රියතම ලේඛකයා වීම කිසිසේත් ම මගේ ලේඛන අරමුණුවලින් එකක් නොවන වග. ජනප්‍රියත්වය කියන සාධකය කලානුරූපීව වෙනස් වන දෙයක් නේ. එය මනින්න නිවැරදි දත්ත සංඛ්‍යා ලේඛන කවුරුත් ඉදිරිපත් කරන්නේ නෑ. දේශපාලනය වගේ ම සාහිත්‍ය කියන්නෙත් බොරුවෙන් ජීවත්වීම ම තමයි. ලංකාවේ ජනප්‍රිය ලේඛකයින් කියලා මගේ අනුමානය නම් සුජීව ප්‍රසන්නාරච්චි, මස්ඉඹුල, මොහාන් රාජ් සහ මංජුල සේනාරත්න යන අයයි. මෙතැන ඇති විශේෂත්වය මේ හතර දෙනා මූලික වශයෙන් ශානර හතරක ලියන අය වීම. හැබැයි සාහිත්‍යය දියුණු කර්මාන්තයක් වෙන්න හා කලාව පොදුවේ මාතෘකා කරගන්න නම් මේ වගේ හතළිහක්වත් ඉන්න ඕනා.

  • ඔබේ නිර්මාණ තුළින් ඔබ බලාපොරොත්තු වන සමාජීය වෙනස, පාඨක ප්‍රජාව හා ඔවුන් තුළ ඇති කරන්න වෙහෙසෙන ආකල්පීය වෙනස කුමක් ද?

අපිට ඔය ගැන තියෙන්නේ කතා විතරයි. පළමු වෙන්ම නිර්මාණ තුළින් යම් සමාජමය හෝ ආකල්පීය වෙනසක් කළ හැකි ද යන්න පිළිබඳව ම තර්ක තියෙනවා. මම ඉන්නේ හැකිය කියන මතයේ. නමුත් ඒක දීර්ඝ කාලීන මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ. ඒක එක්කෙනෙක් දෙන්නෙක්ටවත් අවුරුදු දහයකින් පහළොවකින්වත් කළ හැකි දෙයක් නෙමෙයි. මේ සඳහා කලාවට මුල් තැනක් ලැබෙන සංස්කෘතික පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්න ඕන. මිනිස්සු සංස්කෘතික ජීවියෝ බවට පත්වෙලා තියෙන්න ඕන.

ඊළඟට එන ගැටලුව ඒක කරන්නේ කොහොම ද කියන එක? එය හුදෙක් රජයේ වගකීමක් ද? කලාව කන්න ද කියලා අහපු රටක එවැන්නක් බලාපොරාත්තු වීම ම විහිළුවක්. රජයන් විසින් සියලු සීමා බන්ධන පනවද්දීත් සංස්කෘතික ජීවිත ගත කළ සමාජයන් තියෙනවා. සංස්කෘතික ජීවිතය, ගෙවන දිවියේ ගුණාත්මක අගය මැනෙන මිම්මක් ලෙස ප්‍රචලිතට වීම සැලැස්වීම පොදුවේ නිර්මාණ ඇසුරු කරන්නන්ගේ වගකීමක්. එහෙත් එයට ඍජුවම එන දේශපාලනික, අගමික හා සාම්ප්‍රදායික බාධා ජය ගතයුතු වෙනවා. අවාසනාවකට මේ කිසිවක් සිදුවන වගක් පෙනෙන්නේ නෑ. අප තැන තැන කරන හුදෙකලා ව්‍යාපෘතිවල ප්‍රතිඵලය කුමක්දැයි කියා නිශ්චිතවම අපි දන්නේ නෑ.

  • ප්‍රබන්ධය සත්‍යට වඩා ජීවිතයට සමීපයි ද?

ජෙසමින් වෙස්ට්ගේ ‘යථාර්ථය වළකාලන සත්‍යය ප්‍රබන්ධය විසින් පවසනවාය කියන මේ කියමන විවිධාකරයෙන් වර නැඟෙනවා. එකක් යථාර්ථය තුළ අප දකින යථාර්ථයට මුහුණ නොදී පලා යන්න, නො දුටුවා සේ සිටින්න මිනිසගේ ඇති ප්‍රවණතාවය අභියෝගයට ලක් කරමින්, ප්‍රබන්ධය යථාර්ථය කියවන්නාට අබිමුඛ කරනවා. එය ඇවිදින් ඇඟේ නොවදින නිසා පාඨකයා සිය මනැස් ලෝකය තුළ අභියෝගයකින් තොරව ම වාගේ සත්‍යය භාර ගන්නවා. එය විශ්ලේෂණය කර බලන්නාට පමණයි සැබෑවට ප්‍රශ්නය මුණ ගැසෙන්නේ.

අනෙක් අතට මිනිසුන්ට යථාර්ථයට මුහුණ දියනොහැකි නිසා ඉන් පලා යෑමට විනෝදකාමී ප්‍රබන්ධයන් භාවිත වීම තමයි අපට සුලභව ම දකින්න ලැබෙන්නේ. එහිදී පාඨකයා යථාර්ථයෙන් ඈත් වී ප්‍රබන්ධය වැළඳ ගන්නවා. සුන්දර ආදර කතා, රහස් පරීක්ෂණ, අපරාධ කතා මේ ඝනයට’ වැටෙනවා. ඒවා අරමුණු කර ගන්නේ ම යථාර්ථය බිඳීම නිසා එයට සමගාමී සාධාරණ ශානරිය ප්‍රවේශයක් තියෙනවා.

  • ඔබේ නිර්මාණවලට වස්තු විෂය වන්නේ ඔබේ ම අත්දැකීම් ද?

දැනට ගත්හොත් නිසැකව ම ඔව් කියන්න පුළුවන්. තමන්ගේම කතා ලියන අය තව නැතිව නෙමෙයි. හැබැයි ඒ වෙනුවෙන් පෙනී හිටින්න බොහෝ දෙනෙක්ට පෞරුෂයක් නෑ. දිනක් මම අහගෙන කෙනෙක් වැළපෙනවා අහවල් පොතේ තියෙන්නේ මගේ පුද්ගලික අත්දැකීම් නෙමෙයි කියලා. ඒ කර්තෘට තමන් ම නිර්මාණය කළ ප්‍රබන්ධයේ යථාර්ථයට ම මුහුණ දෙන්න බැරි වෙලා. එහි යථාර්ථයට අබිමුඛ නොවී ප්‍රබන්ධයේ සැඟවී ඉන්න ලේඛකය ම කැමතියි. ප්‍රබන්ධිත යථාර්ථය වෙනුවට සත්‍යයට මුහුණ දෙන්න නම් සාහිත්‍යයෙන් එපිට ට දර්ශනයක් හා පෞරුෂයක් තියෙන්න ඕන වග තමයි මම තේරුම් ගත්තේ.

තමාගේ ම අත්දැකීම් ලිවීමේ දී අනුගමනය කරන තාක්ෂණයත් බොහොම වැදගත්. ප්‍රබන්ධයක් තුළට මධ්‍යම පුරුෂ දුෂ්ටි කෝණයකින් කර්තෘව ගෙන ඒමත් අපහසු දෙයක්. මක් නිසා ද යත් එවිට තමන් තමාව දකින්නේ වෙනත් කෙනෙකුගේ ඇසින් නිසා. එවිට හැඟීමට වඩා සිද්ධිය විස්තර කිරීමට සහ විශ්ලේෂණය කිරීමට ඇති ඉඩකඩ වැඩියි. උත්තම පුරුෂයෙන් ලිවීම ඊටත් වඩා භයානකයි. සිතට එන සියල්ල වැල්වටාරම් සේ ලියවෙන්න හැකි නිසා.

ලේඛකයෝ කියන මිනිස්සු ඉන්නකල් සිංහල නවකතාවට ජීවයක් නෑ - සුරත් ද මැල්

තී හා තා කෘතියේ පළමු ලිවීම පිටු 1060ක්. මොකද මට මගේ කතාවේ කිසිම දෙයක් අනවශ්‍ය යැයි නොහැඟුණු නිසා. අනතුරුව එය නවකතාවක් බවට පරිවර්තනය කිරීමේ කර්තව්‍ය කෙරුණේ බොහොම පරිස්සමින්. පළමු පිටපතෙන් 80%ක් පමණ අවසානයේ ඉවත් වුණා. නව පිටු දෙසීයක් පමණ ලියැවුණා. ඉතිරියත් නැවත නැවත ලියුවා. තමන්ගේ ම කතා ලියන්න යෑමේ අපහසු ම කොටස තමයි සංස්කරණය. ගහෙන් අඹ ගෙඩියක් වැටෙන හැටි දැකපු අවස්ථාව පවා අපිට ඉතා වැදගත් විදියට දැනෙන්න පුළුවන්.

තී හා තා සේ ම ළමුතු අමයාත් මට ඉතාම සමීප අත්දැකීම්. සී+, ඩුඕහි උමාගේ කතාවත් මා හොඳින් ම දන්න අඳුනන මිනිස්සුන්ගේ කතා. ඒ කතා දිග හැරෙන අයුරු ඒ මැද්දෙ ම ඉඳන් මම බලා ඉඳලා තිබෙනවා. ඩුඕහි එන සාරාගේ කතාව නම් ප්‍රබන්ධයක්. එහි ඉන්දියාවේ කේරලය ලෙස සඳහන් කර තිබෙන සෑම ස්ථානයකට ම මා ගිහින් තිබෙනවා. කේරලයේ මිනිස්සු අහලා දැකලා කතාකරලා මිත්‍රවෙලා ගෙවුණු අවධියකුත් තිබෙනවා. ඒ නිසා පසුබිම කේරලයේ තබන් එය නිර්මාණය කිරීම පහසු වුණා.

ඒ අතර ම පූර්ණ ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමේ දී යථාර්ථය සහ සත්‍යය ඒ තුළ පිහිටුවන්නේ කෙසේද යන්න මට නුහුරු දෙයක් වුණා. වැදගත්ම දෙය තමයි කතාව ප්‍රබන්ධයක් වූවාට චරිතවල සිතුවිලි විග්‍රහය නැත්නම් මනෝවිශ්ලේෂණය එලෙස ප්‍රබන්ධ නොවන වග තහවුරු වීම. ප්‍රබන්ධ අපට සත්‍යයැයි හැඟෙන්නේ එහි විශ්වසනීයත්වය ගොඩ නඟන අයුරු මත. ඒ චරිතය අභ්‍යන්තරයේ ලේඛකයා කොතෙක් සිටී ද යන්නත් එහිදි බලපානවා. එහෙම බලනකොට තමා විසින් ප්‍රබන්ධිත චරිත තුළත් තමා ඉන්නවා. තමන්ගේ පුද්ගලික අත්දැකීමුත් තියෙනවා.

  • වර්තමානය තුළ තරුණ පාඨකයා කියවීමට වඩා ඇසීමට දක්වන උනන්දුව ඉහළයි. සාහිත්‍යකරුවෙක් විධියට ඔබ මෙය දකින්නේ අභියෝගයක් ලෙස නොවේ ද?

මට නම් එහි කිසිදු ගැටලුවක් පෙනෙන්නේ නෑ. හැමෝ ම කියවන්න ඕන කියලා නීතියක් නෑනේ. උදාහරණයක් විදියට මමත් කියවීමට වැඩිය අහපු බලපු කෙනෙක්. භෞතික විද්‍යාව නො කළා නම් තමන් වඩාත් ප්‍රිය සංගීතඥයෙක් වීමටයි කියලා, අයින්ස්ටයිනුත් කියන්නේ. ඔහු තවදුරටත් කියනවා තමන්ගේ සිතුවිලි උපදින්නේ සංගීතවත්වය කියලා. ඔහු හීන දකින්නෙත් මෙලඩියකට කියලා. සංගීතය සිනමාව කියන්නෙත් එකිනෙකට නොදෙවෙනි විශිෂ්ටතම කලා මාධ්‍යය. සංගීතය තමයි ස්වභාවිකත්වයට සමීපතම කලා මාධ්‍යය. මිනිසාගේ ආධ්‍යාත්මයට සමීපම මාධ්‍යය. උදාහරණයකට හිතන්න සිංහල නවකතාවක් කියවීම හෝ මොසාර්ට්ගේ සිම්පනියක් ඇසීම අතර පරතරය. අනෙක් අතට සංගීතයට සවන් දෙනවා වැනි, එක කලාවක් රස විඳින කෙනෙක් අනෙක් කලාවන් පූර්ණව හෙළා දකිනවාට වඩා ඇසුරු කිරීමට තියෙන ඉඩකඩ වැඩියි. මේ කිසිවක් නොකළත් කෙනෙක්ගේ ජීවිතයට සමගාමීව කලා මාධ්‍යයක් තුළ ජීවත් වීම ඉතා ම වැදගත්. එවිට ඔවුන් තනි වෙන්නේ නෑ. කලාව තරම් යහපත් ජීවන සහකරුවෙක් තවත් නෑ. අනවශ්‍ය විටෙක වසා දමා උවමනා විටෙක නැවත සමීප වියහැකි වීමත් එහි තවත් විශේෂ වාසියක්.

  • “ළමුතු අමයා” කියන්නේ විශේෂ සාහිත්‍ය කෘතියක්. ළමයෙක්ගේ ඇසින් ලෝකය දකින වැඩිහිටි නවකතාවක්. එහි උපහාසය තිබෙනවා. දේශපාලනය තියෙනවා. කලාව සංස්කෘතිය තිබෙනවා. ඒ අතර බොහෝ තැන්වල පද පෙරළිත් තිබෙනවා. ඔබේ ඒ අලුත් නිර්මාණය ගැන කතා කළොත්?

සමහර දේ තියෙනවනේ අපි ජීවිත කාලය තුළ කළ යුතුයැයි විශ්වාස කරන. ළමුතු අමයා එවැනි ව්‍යාපෘතියක්. අපේ රටේ ජීවිතය කොත්තු වගේ නේ. එළවළු මස් වගේ ගුණ දේ රස දේ ටිකයි. රොටි වගේ මෙලෝ රහක් නැති ලෙඩ ගොඩයි. ඒ මදිවට මේ ටික එකට දාලා තැටියේ දාලා ගහලා ගත්ත ම පේන කුණු ගොඩ මාර රසයි කිය කිය කන එකනේ ජීවිතේ. එහෙත් මේ නොදියුණු සරලත්වය ඇතුළේ තියෙන නොකියවෙන සංකීර්ණ කතා එමටයි.

ලේඛකයෝ කියන මිනිස්සු ඉන්නකල් සිංහල නවකතාවට ජීවයක් නෑ - සුරත් ද මැල්

අපේ බැඳීම් හා සම්ප්‍රදායන් මිනිස්සුන්ව ආබාධිත කරනවා. නූතනත්වය උඩින් හා යටින් නොපෙනෙන්න මහා පසුගාමී අදහස් තියෙනවා. අපිව පාලනය කරන්නේ ඒවා. මේ දේශපාලනික ජීවිතය දෙස හාස්‍යයෙන් බලා අපිට අපට ම හිනා විය හැකි, ඒ හිනාව යටින් අපිට අපට ම වෛර කළ හැකි ගැඹුරක් හාස්‍යයයෙන් දවටා දෙන්න නවකතාවක් ලියන්න කියලයි මම උත්සාහ කළේ. රටේ සමාජ දේශපාලන වපසරි වෙනස් වෙලා සංස්කෘතික මිනිහෙක් බිහිවෙන්න සමහරවිට තව පරම්පරා කිහිපයක් යාවී. නමුත් එයත් කොයින් හෝ ඇරඹිය යුතුයි. ඒ විය යුතු වෙනස දකින්න ළමයෙකුටත් වඩා කවුද සුදුසු?

  • අනාගතයේ සාහිත්‍යකරණයට පරපුරක් බිහි කරන්න, සාහිත්‍ය රසවිඳින නව පරපුරක් බිහිකරන්න මොන වගේ මඟ පෙන්වීමක් ඔබට කළ හැකිද?

මේ පළමු කාරණයට අතගහපු අය තමයි ලංකාවේ බාගයකට වැඩිය ඉන්නේ. ඒක එයාල ම කර ගත්ත දෙන්. සාහිත්‍ය රස විඳින පිරිසක් බිහි කරගන්නේ කොහොම ද? අධ්‍යාපන ක්‍රමය තුළ සාහිත්‍ය මූලිකත්වයට ගැනීම එක ක්‍රමයක්. එය දැන් ව්‍යාපෘතියක් ලෙස කරන්නේ අවුරුදු සීයක විතර පටන්. එකේ සාර්ථකත්වය සනාථයිනේ?

සාහිත්‍ය රස විඳින පිරිසක් බිහිකිරීමේ ශාස්ත්‍රීය නොවන ප්‍රායෝගික මාර්ගය වන්නේ ජනතාව කියැවීමට පොළඹවනසුලු ප්‍රශස්ත නිර්මාණ කිරීම. මෙය විවිධ ශානර යටතේ පුළුල් විය යුතුයි. නොකියවන කෙනා කියවීමට ඈඳා ගැනීම, උපක්‍රමශීලීව කිරීමට තරම් විවිධත්වයක් සහිත සාහිත්‍යයක් අපට නෑ. ඒ නිසා වර්තමාන පරපුර කියවන්නෑ කියලා වැලපිලා වැඩක් නෑ. මොකද අද කාලේ අලුතින් ම ලියන තරුණ තරුණියොත් ලියන්නේ, වර්තමාන පරපුරේ අයගේ මැරිච්ච ආච්චිලා සීයලා කියවපු විදියෙම, පරණ අදහස් තියෙන, පරණ කතා තියෙන පොත්. ගොඩක් ලේඛකයෝ ගැළපෙන්නේ මළවුන්ට පොත් කියවීම පුරුදු කිරීමට විනා වර්තමාන පරපුරට කියවීමට පුරුදු කිරීමට නෙමෙයි. දැනට සිංහල සාහිත්‍ය ඉදිරියට යන්නේ ලේඛකයෝ අතළොස්සකගේ මැදිහත් වීමෙන්. අලුත් ආකර්ශනීය දෑ ලියන ලේඛකයින් සහ නිර්මාණ බහුල වන තරමට පාඨකයින් සාහිත්‍යයට නැඹුරු වේවි.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment