වඩුන්නාගල විහාරයට අන්තර්ජාල ප්‍රහාරයක්

798

වත්මන් වවුනියා දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි නගරයේ සිට කී.මී. 04 ක පමණ නුදුරින් ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් පිහිටා තිබේ. මෙම පෙදෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕලුමඩු රක්ෂිතය ලෙසට නම් කර ඇත. නටබුන්ව ගිය වැව් කීපයක් පැරණි ජනාවාස සළකුණු සමග වඩා නොඋස් ගල් කුළු වලින් ගැවසී ගත් ගල්ලෙන් සමූහයක් මෙම වන රක්ෂිතය තුළ දක්නට ලැබේ. මෙම ස්ථානයට මෑතකදී වෙඩිකිරිනාමලය යන නම භාවිතා කොට ඇත. මෙහි සැඟවුණු නාමය වඩ්ඩමාන පබ්බත විහාරය බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් දක්වා ඇත. ක්‍රී. පූ. තුන්වන සියවස දක්වා දිවෙන බෞද්ධ ශිෂ්ටාචාරයක් මෙහි තිබුණ බවට සළකුණු මෙම පර්වතය පාමුල ද ගල් කුල මස්තකයේ ද දක්නට ලැබේ. එල්ලාවල මේධානන්ද හිමියන්ගේ මතය අනුව මෙම විහාරය නාගයන්ගේ නිර්මාණයකි. ලංකාවේ පමණක් නොව විදේශ නාවික වරායන් සමගද වෙළ හෙළඳාමේ නියුතුව සිටි නාගයන් මහ රහතුන් වැඩ සිටි මෙවැනි පුදබිම් වලට අනුග්‍රහය දැක්වූහ. කටාරම් කොටවා සංඝාවාස නිම කරවා ස්ථූප බඳවා කළ ශාසනික ක්‍රියා අද ජරාවාසව පවතී. මෙම විහාරයට කඩා වැදුණු දෙමළ දේශපාලනඥයන් කීපදෙනෙකු එහි ගල් ලෙනක ත්‍රි ශූලයක් ගසා කෝවිලක් බවට පත් කරගත්හ. අනතුරුව පර්වත මස්තකයේ පෙර ස්ථූපය පැවති ස්ථානයේද ශිව ලිංගයක් තබා වන්දනාමාන කරන්නට ආරම්භ කළහ. මෙයට නැගීමට ගැල්වනයිස් පඩිපෙළක්ද සෑදූහ. මෙම අනවසර ඉදි කිරීම් වහාම නතර කරන ලෙසට දැන්වුවද එය නොසැලකූ බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රියාවන්ට විරුද්ධව 2019 දී සහ 2020 දී අවස්ථා තුනකදී නඩු පවරා ඇත. මේ නිසා කීප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර මෙම නඩු තවමත් වවුනියා උසාවියේ පවතී. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට පැමිණීම දිගින් දිගටම ප්‍රමාද කර ඇත.

මෙවැනි නටබුන් ස්ථාන රැසක් උතුර සහ නැගෙනහිර ඇත. සිංහල රාජධානිය ක්‍රමයෙන් අනුරාධපුරයෙන් බැහැරව උඩරටටත් බස්නාහිරටත් පැමිණෙන කල්හි අතීත බෞද්ධ ශිෂ්ටාචාරය ඝන වනයෙන් ගැවසී ගත්තේය. 1815 න් පසු ඉංග්‍රීසීන් විසින් මෙම වන ගහනයන් සියල්ල රක්ෂිත බවට පත් කරන ලද්දේය. ඒ රක්ෂිත අතර විල්පත්තුව, ත්‍රිකුණාමාලයේ චුන්ඩන්කුඩා, මුලතිවු හි නාගචෝල රක්ෂිතය සහ ඕලුමඩු වැනි රක්ෂිත අයත් වේ. මෙම වන ගහනයන් තුළ අතීත බෞදධ ශිෂ්ටාචාරයන් සැඟව තිබෙන බව තිබෙන හොඳම නිදසුන නම් මුලතිවු හි කුරුන්දි විහාරයයි. අතිවිශාල බෞද්ධ ආරාම සංකීර්ණ මේ වනයෙන් හමුවීම විස්මයක් නොවේ. වඩ්ඩමාන පබ්බත විහාරය නොහාත් වඩුන්නාගල පිළිබඳ ව සහ එහි හාත්පස පීළිබදව මෙතෙක් නිසි ගවේෂණයක් කෙරී නැත’ ඒ නිසා එහි නටබුන් විසිර පවතින පෙදෙස තවමත් අපට නිශ්චිතව කිව නොහැකිය. 1940 න් පසුව මෙම නටබුන් සහිත ස්ථාන සියල්ල පුරාවිද්‍යා ස්ථාන වශයෙන් සැළකෙන්නට විය. දෙපාර්තමේන්තුව විසින් සිය කාර්ය මණ්ඩලය යොදවා වරින් වර මේ ස්ථාන සංරක්ෂණය කළද 1977 න් පසු උතුර සහ නැගෙනහිර පැවති යුද්ධය හේතු කොට ගෙන වවුනියා, මුලතිවු, කිලිනොච්චිය, මන්නාරම, අම්පාර, ත්‍රිකුණාමලය සහ යාපනය වැනි දිස්ත්‍රික්කයන්හි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව ඇත්තේය.

වඩ්ඩමාන විහාරයට ප්‍රවිෂ්ඨ වෙත්ම අපට දකින්ට ලැබෙන්නේ ගල්ලෙන් සමූහයකි. කටාරම් කොටවන ලද එම ගල්ලෙන්වල අතීතයේ දී මහරහතුන් වැඩ සිටි බවට සාක්ෂි ඇත. මහ ශමුද පුත ගුතශ ලෙනෙ ශගශ පරුමක බමදත පුත මහ ගුතශ ලෙනෙ යනුවෙන් එහි සෙල් ලිපියක් පවත. එසේම බත චුඩි තිශහ ලෙනෙ යනුවෙන් ද එක් ලෙනක අකුරු කොටවා තිබේ. මේ නාමයන් මේ ලෙන් පිදූ උපාසකයන්ගේ අනන්‍යතාවය හෙළි වෙති. රහතුන් වහන්සේලාගේ වාසයට සුදුසු වන පරිදි ලෙන සකස් කර දීමද අවට සිංහල ජනාවාස වලින් ප්‍රත්‍ය පහසුකම් සපයා දීමටද මේ උපසාකයන් කටයුතු කරන්නට ඇත.

වඩුන්නාගල විහාරයට අන්තර්ජාල ප්‍රහාරයක්

මින් එක් උපාසකයෙකු මැණික් ගැරීම සහ වෙළෙඳාමට දක්ෂව සිටි බව දක්නට හැකිය. කෙසේ වෙතත් තමන් ධාර්මිකව හරි හම්බ කරගත් ධනය ශාසනික දියුණුව උදෙසා කැප කිරීම අතීත වර්තමාන අනාගත බෞද්ධයන්ගේ විශේෂ කාර්ය භාරයකි.

වඩ්ඩමාන නොහොත් වඩුන්නාගල පර්වත ශිඛරය බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාට අතිශයින් වැදගත් තපෝවනයකි. ගොදුරු ගම් වශයෙන් පැවති ජනාවාස වඩාත් දුරකින් නොවූ බැවින් ප්‍රත්‍ය පහසුකම් සැපයීමට දුෂ්කරතා ඇති නොවෙයි. මෙහි හාත්පස යම් ගවේෂණයක් සිදු කළහොත් පුරාණ සිංහල ජනාවාසයන්ගේ වැදගත් සළකුණු මතුකර ගත හැකිව බව නිසැකය. 1964 වර්ෂයේදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රථම වරට මෙම ස්ථානයට වැඩම කරන කල්හි උන්වහන්සේට මගපෙන්වන ලද්දේ දෙමළ මනුෂ්‍යයෙකි. පුරාණ සිංහල ගම්මාන මේ අවට පිහිටි බව එම පුද්ගලයා පැවසූ ආකාරය උන්වහන්සේගේ ග්‍රන්ථයන්හි දක්වා තිබේ.

මෙවැනි අතීතයක් හිමි අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන වඩ්ඩමාන පර්වත සමූහය අභ්‍යන්තරයේ කෝවිලක් නිර්මාණය කිරීමෙන් නොනැවතුණු දෙමළ අන්තවාදී දේශපාලනඥයන් මෙම ස්ථානය තුළ පිහිටා ඇත්තේ කෝවිලක් බවට අන්තර්ජාලයේ ද පළ කළහ. මෑතකාලීනව අන්තර් ජාල පහසුකම් මධ්‍යයේ ගූගල් සිතියම්වල මෙලෙස පළ කළ හැකිය. නමුත් යම් කිසි කණ්ඩායමකට මෙම සළකුණ ඉවත් කිරීමට අවශ්‍ය නම් විශාල පිරිසක් එකතුව ගූගල් සමාගමට වාර්තා කළ සැණින් එය ඉවත් වේ. වඩ්ඩමාන විහාර ගූගල් සළකුණ අත්වී ඇත්තේ මෙවැනි ඉරණමකි. යළි යළිත් මෙම සළකුණ ඇතුළත් කළද නැවතත් එය ඉවත් කෙරේ. මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයේ සිතියම් ගත කර ඇත්තේ දිවයින පුරාවටම ස්ථාන 1565 ක් පමණි. යම් තාක්ෂණික ගැටලු නිසා නැගෙනහිර පළාතේ තොරතුරු මෙයට ඇතුළත්ව නැත. උතුර සහ නැගෙනහිර පමණක් බෞද්ධ ස්මාරකයන් 1600 කට වඩා දැනට හඳුනාගෙන ඇති හෙයින් නිල වශයෙන් මෙම ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු ගූගල් වැනි සාමාගම් වලට තහවුරු කිරීම මෙරට සංස්කෘතික අමාත්‍යංශයේ වගකීමකි. නැතහොත් මෙවැනි ප්‍රහාර වලින් පසු ජාත්‍යන්තර වශයෙන් ලංකාව අපකීර්තියට පත්වනවා පමණක් නොව වැරදි තොරතුරු ලෝකයා ඉදිරියට යොමු වේ. අන්තවාදී දෙමළ දේශපාලඥයන්ගේ උත්සාහය උතුර සහ නැගෙනහිර ඔවුන්ගේ නිජබිම බවට සහතිකයක් ලබා ගැනීමයි. ඒ සඳහා දැනට උතුරේ හඳුනාගෙන තිබෙන බෞද්ධ ස්ථාන 74 ක් ආක්‍රමණය කර කෝවිල් ඉදි කිරීමද ඒ තොරතුරු අන්තර්ජලයට මුදාහැරීමටද සූදානමක් ඇති බවටද වාර්තා වේ. මෙය බරපතළ තත්වයකි. දෙමළ ඩයස්පෝරාවට කඩේ යන ආණ්ඩුවක් සහ සංස්කෘතික ඇමැතිවරයෙක් සිටින රටක මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව යළි යළිත් අපට හිතන්නට සිදුව තිබේ.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment