වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ලබාදීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් නොවෙයි

205

අභියාචනාධිකරණ තීන්දුවක්

2010 වසරේ සිට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලුම්කාර ජනමාධ්‍යවේදියා වෙත ලබාදෙන ලෙසට තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයකට එරෙහිව පාර්ලිමේන්තුවේ තොරතුරු දැන ගැනීමේ නිලධාරියාට ගොනුකර තිබූ අභියාචනාවක් අභියාචනාධිකරණය ඊයේ (28දා) ප්‍රතික්‍ෂේප කළේය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව විසින් එම සභාව වෙත පැවරී ඇති බලතල අනුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති එම නියෝගය නීතියට අනුකූල නියෝගයක් වන බැවින් එය ප්‍රතික්‍ෂේප කිරීමට හේතු නොමැති බවත් තම අධිකරණය ද එම නියෝගය තහවුරු කරන බවත් විනිසුරු පී. කුමාරරත්නම් මහතාගේ එකඟතාවය අනුව විනිසුරු සම්පත් අබේකෝන් මහතා නිකුත් කළ තීන්දුව මගින් පෙන්වා දුන්නේය. එකී තොරතුරු ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු වගකිවයුතු පිරිස පෙන්වා දී ඇතත් එය පිළිගත නොහැකි බවද විනිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.
ජනමාධ්‍යවේදී චාමර සම්පත් මහතා විසින් 2018 වසරේදී පාර්ලිමේන්තු තොරතුරු දැන ගැනීමේ නිලධාරියාගෙන් කර තිබූ එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රතික්‍ෂේප කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි. ජනමාධ්‍යවේදී චාමර සම්පත් මහතා වෙනුවෙන් නීතිඥ නිලුකා දිසානායක, නීතිඥ එස්. විමලසේන යන මහත්වරුන් සමග නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා පෙනී සිටි අතර නීතිඥ ජයනි ඇල්ලේපොල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment