මැදවච්චියේ තේක්ක වැවූ ගොවීන් අසරණ වෙලා

470

දැව ජාවාරම් කරුවන් විනාශ කර ඇති තේක්ක වන වගාව

*වගාව කපා ගන්න අපට අවසර දීලා නැවත තේක්ක වන වගාවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙන්න – ළිඳවැව ගම්මානයේ ගම්වැසියෝ ඉල්ලති

* ගොවීන්ගේ අත්සන් සහිතව ඉල්ලීම් ලිපියක් දිසා වන නිලධාරි අනුරාධපුරට  යොමු කළ යුතුයි – වැඩ බලන අඩවි වන නිලධාරි එච්. බී. කුරේ

මැදවච්චියේ තේක්ක වැවූ  ගොවීන් අසරණ වෙලා
සභාපති හේරත් සේනාරත්න මහතා
 

මැදවච්චියේ තිබෙන වසර 24 ක් පැරණි එකම තේක්ක වන වගාව මැදවච්චිය අඩවි වන කාර්යාලයේ නොසැලිකිළිමත්කම හේතුවෙන් දැව ජාවාරම්කරුවන්ගේ  ග‍්‍රහණයට ලක්ව ඇති බවට මැදවච්චිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති හේරත් සේනාරත්න මහතා චෝදනා කරයි.

මෙම තේක්ක වන වගාව වර්ෂ 1997 දී ළිඳවැව ග‍්‍රාම සංවර්ධන සමිතිය මගින් මැදවච්චිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයේ අංක 77 තුලානේ ළිඳවැව ගම්මානයේ ආරම්භ කර ඇත. එවක ගොවි පවුල් 63 කින් සමන්විත මෙම වන වගාව අක්කර 63 කින් සමන්විතය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන සභාපති හේරත් සේනාරත්න මහතා, 1997 වර්ෂයේ ආරම්භ කළ මෙම තේක්ක වන වගාව අවුරුදු ගණනාවක් සාර්ථකව ගොවීන්  කරගෙන ගියා. ඒ කාලේ මේ භූමිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපි ඉල්ලගත්තේ තේක්ක වන වගාව සඳහා. මේ ඉඩම් සඳහා බලපත‍්‍ර පවා ගොවීන් හට තිබුණා. ඒ බලපත‍්‍ර මැදවච්චිය අඩවි වන කාර්යාලය විසින් අපෙන් ඉල්ල ගත්තා ඔප්පු දෙනවා කියලා. එවක සිටි නිලධාරින් ඒවා කළේ. නමුත් ඒවට ඔප්පු ලැබුණේ නෑ.

අපි දැන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපට මේ වන වගාව කපා ගන්න අවසර දීලා නැවත තේක්ක වන වගාවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේම මේ භූමිය මැදවච්චිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත ලබා දෙන්න කියලයි. මේ සියල්ල සිදු වුණේ මැදවච්චිය අඩවි වන කාර්යාලයේ නොසැලිකිළිමත් කමින්.

තේක්ක වන වගා කරුවෙකු වන එම්. වයි. ගුණරත්න ගොවි මහතා:

අපි බොහොම වෙහෙස මහන්සී වී සිදු කළ තේක්ක වන වගාව මැදවච්චිය අඩවි වන කාර්යාලය විසින් මේ වන විට විනාශ කරලා තියෙනවා. දැන් අපි ඉල්ලා සිටින්නේ මේ ඉතුරු වුණ ගස් ටිකවත් අපිට කපා ගන්න අවසර දෙන්න කියලා. හොරු ගස් 25 ක් 30 ක් මේ වෙද්දි කපලා තියෙනවා. මෙයට අපට විසඳුමක් දෙන්න කියලයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

චෝදනා පිළිබඳ මැදවච්චිය අඩවි වන කාර්යාලයේ වර්තමාන වැඩ බලන අඩවි වන නිලධාරි එච්. බී. කුරේ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට අයිතියක් නෑ මේ සම්බන්ධව තීරණ ගැනීමට. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගාවක්. අපි ගිවිසුමක් අත්සන් කළොත් එහි කොන්දේසි මතයි කටයුතු කරන්නේ. මේ සම්බන්ධව මේ ගොවි සමිතියේ සභාපති අනිකුත් ගොවීන්ගේ අත්සන් සහිතව ඉල්ලීම් ලිපියක් දිසා වන නිලධාරි අනුරාධපුර කාර්යාලයට යොමු කළ යුතුයි. ඒ අනුව අවශ්‍ය කටයුතු සලසා දීමට මා හට හැකියි. ඉදිරියේදී මේ පිළිබඳ සොයා බැලීමක්ද මා සිදු කරනවා.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment