වරද නිවැරදි නොවීම පසුගිය කාලයේ අපට සිදුවුණ ලොකුම වරදයි… මුරලිදරන් කියයි

1954

සිය දකුණතින් මුදාහළ පන්දුවෙන් ලොව ප‍්‍රබල පිතිකරුවන්ගේ කඩුලූ එකිනෙක බිඳ හෙළා ටෙස්ට් කඩුලූ ඉතිහාසයේ හිණි පෙත්තට නැගි මුත්තයියා මුරලිදරන් මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයෙකි. 2021 පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු සමග සාකච්ඡාවක නිරතවීමට ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසකට අවස්ථාව උදාවිය. ඩුබායිහි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය වෙත පැමිණි ඔහු වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව මෙන්ම රටේ ක‍්‍රිකට් සහ ලෝක ක‍්‍රිකට් තතු මෙන්ම ශ‍්‍රී ලංකාවේ අනාගතය සකස් විය යුතු ආකාරය පිළිබඳවද සිය අදහස් දැක්වීය. මුරලිදරන් මහතා සමඟ සිදු කළ සාකච්ඡාවේ සටහන මෙසේය.

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා හොඳ තත්ත්වයක තිබෙනවා. මේ ක‍්‍රීඩකයන් බහුතරයක් තරුණ ක‍්‍රීඩකයන් ඔවුන්ට දක්ෂතා අතින් අඩුවක් නැහැ. එහෙත් සමහර ක‍්‍රීඩකයන්ට අත්දැකීම් අඩුයි. ඔවුන්ට ඉදිරියේදී ගොඩක් තරග ක‍්‍රීඩා කරන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. එම කණ්ඩායමට මහේලගේ පැමිණීම බෝනස් එකක් ලෙසයි මම දකින්නේ. එහෙත් මහේලගේ උපදේශනය ටික කලකට පමණයි කියා මං දන්නවා. ඔහුට පන්දුවාර 20 – 20 තරග රටාව ගැන විශාල අවබෝධයක් තිබෙනවා. ලෝකය පුරා ඔහු සම්බන්ධ වුණු හැම තරගාවලියක්ම ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා. ඔහු සිය අත්දැකීම් ක‍්‍රීඩා විවේකාගාරයේදී ක‍්‍රීඩකයන් සමඟ හුවමාරු කර ගැනීම ඉතා හොඳ සලකුණක්. අපේ ක‍්‍රීඩකයන්ට මහේලගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝමයි.

ප‍්‍රශ්නය: මහේල ජයවර්ධන මහතාට ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයේ තරගවලදීද ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටීමට නොහැකි ඇයි?

පිළිතුර: ඔහු මාස හතරක් පමණ සිට නිවසින් බැහැරව ජෛව ආරක්ෂිත බුබුලක රැඳී සිටිනවා. ඔහුට යම් විවේකයක් අවශ්‍යයයි. ඔහු මේ තරගාවලියේ ආරම්භක අදියරට කණ්ඩායම සමඟ එකතු වුණා. ඉන් පසුව අනෙක් පුහුණුකරුවන්, තේරීම් කමිටු සභාපති සහ කාර්ය මණ්ඩලය කණ්ඩායම සමඟ ඉදිරියට ගමන් කරනවා.

ප‍්‍රශ්නය: ක‍්‍රිකට් උපදේශන කමිටුවේ කාර්යභාරය පිළිබඳව කතා කළොත්?

පිළිතුර: එය දැන් සක‍්‍රීය කමිටුවක්. මීට වසර ගණනාවකට පෙරත් මෙවැනි කමිටු තිබුණා. ඒත් ඒවා සාර්ථක වුණාද? සක‍්‍රීයව කටයුතු කළාද කියන ප‍්‍රශ්නය මතුවුණා. වත්මන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා යටතේ අපි සියලූ දෙනාම බලපෑමකින් තොරව කටයුතු කළ හැකියි. හැබැයි උපදේශන කමිටුව හෝ ක‍්‍රිකට් ආයතනය හෝ ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන් ගනු ලබන හැම තීරණයක්ම හැමවිටම නිවැරදිවනු ඇතයි අපි කියන්නෙ නැහැ. වැරදි වෙනවා. දැන් ඒවා හදාගෙන නිවැරැදි මාවතේ යනවා. ඒත් ඉස්සර නිරන්තරයෙන් වැරදි සිදුවුණා. ඒවා නිවැරැදි නොවී යළිත් සිදුවුණා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට පසුගිය වසර කිහිපය තුළ වැරදුනේ ඒ නිසයි.

ප‍්‍රශ්නය: ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල මූල බීජය දේශීය තරග පද්ධතියයි. ඒ තරග රටාවේ වර්ධනය සම්බන්ධයෙන් මොනවද ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග.

පිළිතුර: දේශීය ක‍්‍රිකට් පද්ධතියේ ආකෘතිය වෙනස් කළ යුතුයි. එසේ සිදුකර එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම කළ යුතුයි. එවිට ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ක‍්‍රිකට් තරග සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග අතර පරතරය අවම කර ගත හැකියි. අපට වාණිජ මට්ටමේ තරගාවලිද තිබෙනවා. විදෙස් ක‍්‍රීඩකයින් පවා ඒවාට සහභාගි වෙනවා. අත්දැකීම් බහුල ක‍්‍රීඩකයන්ද සිටිනවා. එය අපේ ක‍්‍රීඩාවලට හොඳ ලකුණක්.

ඒ වගේම පළමු පෙළ ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුලදී ක‍්‍රීඩා සමාජ 8 යි තිබුණේ. හැම ක‍්‍රීඩා සමාජයකටම සමාන අවස්ථා ලබා දිය යුතුයි. ඒත් මේ ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව ක‍්‍රමානුකූලව අඩුකර යුතුයි. අපේ අවසන් ඉලක්කය ක‍්‍රීඩා සමාජ 15 ක් දක්වා එය අඩුකිරීමයි. ක‍්‍රීඩා සමාජවලින් කණ්ඩායම් පළාත් තරගාවලියට යොදවනවා. පළාත් තරගාවලිය ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගන්නා ප‍්‍රධාන ක‍්‍රමවේදයයි. ඒ නිසා රටේ ක‍්‍රීඩා සමාජ පරිපාලනය හොඳින් සිදුවිය යුතුයි.

ප‍්‍රශ්නය: ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු සාර්ථකත්වය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර: අකිල ධනංජය දක්ෂ පන්දු යවන්නෙක්. ඒත් ඔහුට මේ තරගාවලියේ තවමත් කණ්ඩායම ඇතුළට එන්න බැරිවුණා. ඒ අනෙක් දඟපන්දු යවන්නන් ඔහුට වඩා දක්ෂ නිසයි. ක‍්‍රිකට් ආයතනය තේරීම් කමිටුවට අවශ්‍ය බලතල ලබාදී තිබෙනවා වඩාත් සුදුස්සා තෝරා ගැනීමට. ඒත් තේරීම් කමිටුව අතිනුත් වැරදි වෙන්න පුළුවන්. ඒ රාජකාරිය ප‍්‍රශංසාවකින් තොර කාර්යයක්. ඔබ හිතන ක‍්‍රීඩකයා දක්ෂ වුවත් ඔහු දුර්වල වූ විට තේරීම් කමිටුවට දොස් පවරා වැඩක් නැහැ. මහීෂ තීක්ෂණ දැන් හොඳින් පන්දු යවමින් සිටිනවා. ඔහු කඩලූ ලබා ගන්නවා. මේ දක්ෂතා ඉහළ පහළ යනවා. අජන්ත මෙන්ඩිස්ට වුණ දේ මහීෂට සිදුවෙන්න දෙන්න බැහැ. ඔහු පළමු වසර දෙක තුන තුළ හොඳින් පන්දු යැව්වා. එම දක්ෂතා පවත්වාගෙන යෑමට කටයුතු කිරීම ඔහු සතු කාර්යයක්.

ප‍්‍රශ්නය: රටේ පාසල් ක‍්‍රීඩා පද්ධතිය යළිත් පහළ වැටී තිබෙනවා.

පිළිතුර: කොවිඞ් කියන්නේ කාටවත් පාලනය කළ නොහැකි දෙයක්. ජෛව බුබුළු යටතේ පාසල් ක‍්‍රිකට් පවත්වාගෙන යෑම මූල්‍යමය අතිනුත් දුෂ්කර කාර්යයක්. පාසල් තව කෙටි කලකින් විවෘත වේවි. එහෙම වුණොත් නොවැම්බර් මාසයේදී යළි පාසල් ක‍්‍රිකට් ආරම්භ කළ හැකියි. අපේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් බංග්ලාදේශයට එරෙහිව හොඳින් තරග කළා. මහේල ජයවර්ධනගේ පුහුණු උපදේශනය ඔවුන්ටත් ඉදිරියේදී ලැබීමට නියමිතයි. අපි හොඳ ක‍්‍රීඩකයෝ බිහිකිරීමට උත්සාහ කරනවා. අපේ ඉලක්කය 19 න් පහළ ලෝක කුසලානය දිනා ගැනීමයි. මහේල ඊට උදව් උපකාර වෙයි.

ප‍්‍රශ්නය: පන්දුවාර 20- 20 තරගවල වේගය අඩාල කර පන්දු යවන ක‍්‍රීඩකයන්ට තිබෙන අවස්ථාව මොන වගේද?

පිළිතුර:- සෙමෙන් යවනු ලබන පන්දුවට පහරදීමට අසීරුයි. පිතිකරුවා කැමැතියි පන්දුව තමන්වෙත එනවා නම්. ඒත් සෙමෙන් පන්දුව ඊට වඩා වෙනස්. ඒ නිසා දඟපන්දු යවන්නන්ට පන්දුවාර 20 – 20 තරගවල ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටුකිරීමට තිබෙනවා. වේග පන්දු යවන්නන් සෙමෙන් යවන පන්දු ප‍්‍රගුණ කළ යුතුයි. පන්දුවාර 20 – 20 තරග රටාව ආරම්භවී දැන් වසර 20 කට ආසන්නයි. එහිදී හැම දෙනාම සිතුවේ පන්දුවාර 20 – 20 තරගවලදී දඟ පන්දු යවන්නන්ගෙන් වැඩක් නැති වෙයි. ඔවුන්ට හතරේ සහ හයේ පහරවල් එල්ල කරයි කියලයි. ඒත් දඟපන්දු යවන්නන්ගේ දක්ෂතා වර්ධනය වුණා. ඔවුන් තරග රටාවට හැඩ ගැසුණා.

ප‍්‍රශ්නය: ලෝක කුසලාන තරගාවලිය ආරම්භවූ පසුව ඔබට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හා සම්බන්ධවීමට අවස්ථාව ලැබුණාද?

පිළිතුර: ක‍්‍රීඩකයින් ජෛව බුබුලේ ඉන්නේ. අයි. පී. එල්. තරගාවලිය යටතේදී මට වනිදු සහ චමීර සමඟ විනාඩි කිහිපයක් කතා කරන්න ලැබුණා. අපේ අනෙක් ක‍්‍රීඩකයන් හමුවීමට ලැබුණේ නැහැ.

ප‍්‍රශ්නය: 1996 ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමට අපිට මොනවගේ අවස්ථාවක්ද තිබුණේ?

පිළිතුර:- එම ශූරතාවය දිනයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. බොහෝ තරග පරාදයි කියලා තමයි හිතුවේ. අවසන් තරගයට එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් හැම තරගයක්ම ජයගෙන අපි ශූරතාවයත් ජයග‍්‍රහණය කළා. දක්ෂ කණ්ඩායමක් දැන් අපිට සිටිනවා කියලා මම කියන්නෙ නැහැ. ඒත් හැම තරගයක්ම ජයගෙන අපි ශූරතාවයක් ජයග‍්‍රහණය කළා. එදා කණ්ඩායම තරම් දක්ෂ කණ්ඩායමක් දැන් අපිට සිටිනවා කියලා මම කියන්නෙ නැහැ. ඒත් මේ කණ්ඩායමට වුණත් ලොකු දෙයක් කරන්න නොහැකියි කියා කවුරුත් නොසිතිය යුතුයි.

ප‍්‍රශ්නය: ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට රොෂාන් මහානාම සුදුසුයැයි කියා ඔබ යෝජනා කර තිබුණා.

පිළිතුර:- එය මගේ අදහසක්. පළමුව අපේ ක‍්‍රීඩකයන්ගේ විනය හොඳ මට්ටමකට ගත යුතුයි. රොෂාන් ඒ සඳහා ඉතා සුදුසුයි. ඔහු විනයට මූලිකත්වය දෙන අයෙක්. රොෂාන් වසරකට හෝ වසර දෙකකට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට එනවා නම් මුළු කණ්ඩායමේම මානසික තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒත් පළමුව රොෂාන් මේ තනතුරට එකඟවිය යුතුයි. ඒ වගේම ජාතික කණ්ඩායමේ පුහුණුකාරත්වය දේශීය පුහුණුකරුවෙක් වෙතට ලබාදිය යුතු බව මගේ අදහසයි. මොකද විදේශිකයකු සමඟ කටයුතු කිරීමේදී භාෂා ප‍්‍රශ්නය විශාල බාධකයක් වී තිබෙනවා. මේ කණ්ඩායම තරුණයි. ඒ නිසා අපේ කෙනෙක්ගේ සේවය ඉතා අවශ්‍යයි. ඉන්දියාවද දේශීය පුහුණුකරුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඔවුන්ට රවි ශාස්ත‍්‍රී හිටියා. දැන් රාහුල් ද්‍රාවිඞ් පුහුණුකරුවී තිබෙනවා. අනාගතයේදී අපිත් අපේ කෙනෙකුට අවස්ථාව දිය යුතුයි. ඔවුන් හොඳ මදියි කියන්න ඔබට නොහැකියි.

කුෂාන් සුබසිංහ
අබුඩාබි සිට….

advertistmentadvertistment
advertistmentadvertistment