වරප්‍රසාද පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේදී විනිසුරුවරුන්ට අපහාස කරන්න එපා

78

බදියුදීන්ගේ ප්‍රකාශයට ඇමැති විජයදාස විරෝධය පළ කරයි

අධිකරණ විනිසුරුවරුන්ට හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුව තුළ සිදු කරන අවලාද සහ අපහාස වහාම නතර කරන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) ඉල්ලීමක් කළේය.

තම නඩුවෙන් ඉවත් වූ විනිසුරුවරයකුට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය සෙනසුරාදා සාප කර තිබෙන බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් ඒ අයුරින් විනිසුරුවරුන්ට සාප කිරීමට ඉතා අශෝභන බවත් ඇමැතිවරයා පැවසීය. බදියුදීන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

පසුගිය 02 වැනිදා අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා තමන්ගේ නඩුවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ නඩුකාරතුමාට සාප කරනවා යනුවෙන් කියා තිබෙනවා. ඔහු කියන හැටියට ඒ නඩුව මුස්ලිම් විනිසුරුවරයකු ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ ඒ නඩුව අහන එක ප්‍රතික්ෂේප කළ නිසා තමයි එහෙම කිව්වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මුස්ලිම් විනිසුරුවරුන් දහදෙනෙක් නැහැ. ඉන්නේ එක්කෙනයි. ඒ තමයි නවාස් විනිසුරුතුමා. රිෂාඩ් බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් නඩුව මුලින්ම අහපු වෙලාවෙ ජනක් ද සිල්වා විනිසුරුතුමා විල්පත්තුවේ වන සංහාරයට වන්දි ගෙවන්න කියා කලින් තීන්දුවක් දී තිබුණා. ඒ හේතුව නිසා වෙන්නට ඇති එතුමා ඉවත් වුණේ. දෙවනුව සමයවර්ධන විනිසුරුතුමා නඩුවෙන් ඉවත් වුණා. එහෙම ඉවත් වෙද්දි ඒකට හේතු දක්වන්න අවශ්‍යතාවක් නැහැ. හෘදසාක්ෂියට එකඟව නඩු කටයුත්ත කරන්න බැරි නම් ඉවත් වන එක තමයි ලෝක ධර්මය. තෙවනුව යසන්ත කෝදාගොඩ ඉවත් වුණා. ඒ ඉවත් වීමට හේතුව මම කියන්න යන්නේ නැහැ. මොකද හේතුව කිව්වොත් රිෂාඩ් බදියුදීන් මැතිතුමාට ලොකු කැළලක් වේවි. නවාස් විනිසුරුතුමා ඉවත් වුණේ සිව්වැනියා ලෙස. නඩුවට පෙර දිනයේ නවාස් විනිසුරුතුමාට කනිෂ්ඨ නීතිඥවරයකු කතා කර කියා තියෙනවා මේ නඩුව එතුමා ඉදිරියේ අහන්න ජ්‍යෙෂ්ඨ නීතිඥතුමාට අවශ්‍යතාවක් තියෙනවා කියා. පසුදින ජ්‍යෙෂ්ඨ නිීතිඥතුමා හමුවුණු වෙලාවක කියලා මේ නඩුව එතුමා ඉදිරියේ අහන්න අවශ්‍යතාවක් නැහැ කියලා. මේ සම්බන්ධයෙන් නවාස් විනිසුරුතුමා අගවිනිසුරුතුමා දැනුවත් කර තියෙනවා. එතුමා ජාතිවාදය කරපින්නාගෙන වැඩ කරන්නේ නැහැ.

වරප්‍රසාද පාවිච්චි කරලා විනිසුරුවරුන්ට සාප කරන්න ගියොත් මොකක් වෙයිද? කොහොමද විධායකය, ව්‍යවස්ථාදාකය, අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකට වැඩ කරන්නේ? අනිත් එක විධායකය සහ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අය හැටියට අපිව විවේචනය කරන්න ඕනෑම කෙනකුට අයිතිය තියෙනවා. ඒ වගේම අපිටත් අයිතියක් තියෙනවා පෙරළා විවේචනය කරන්න. රාජකාරිය හරියට කරන විනිසුරුවරයකුට සාප කරන්නේ මන්ද මානසික තත්ත්වයකින්. ඒ වගේ වචන කවුද පාවිච්චි කරන්නේ ? එතුමා කිව්වා ඒ විනිසුරුතුමා රාජපක්ෂලාගේ නඩු අහනවා කියලා. රාජපක්ෂලාගේ සෙවණේ සිට වසර දහයක් ඇමැතිකම් කළා. එතකොට කිසිම සාපයක් නැහැ. විනිසුරුතුමන් එවැනි නඩුවක් අහලත් නැහැ. ඒ නිසා එතුමා කළ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි සමාව අයදින්න කියන්න.

මේ සම්බන්ධයෙන් තමා පසුව අදහස් දක්වන බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment