සුනිල් මාධවගේ අවසන් කටයුතු අද

255

අභාවප‍්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26දා) කොස්වත්ත, තලාහේන පොදු සුසාන භූමියේදී පස්වරු 5.00 ට සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය තලංගම කොස්වත්ත රිචඞ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය රැුගත් රිය පෙරහැර අද පස්වරුවේ නිවසින් පිටත්වීමට නියමිතය.

මෙරට පුවත්පත් කලාවට අමිල සේවයක් කළ විප්ලවවාදියකු වූ සුනිල් මාධවයන් කලක් රෝගාතුරව සිට, තලංගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 23 වැනිදා මියයන විට 78 හැවිරිදි වියෙහි පසුවිය.

‘සිළුමිණ’ පුවත්පතේ හිටපු ප‍්‍රධාන කතුවරයකු වු මීමන පේ‍්‍රමතිලකයන්ගේ දෙටු පුත් වූ සුනිල් මාධවයන් එම පුවත්පත ඔස්සේම 1963 වසරේදී මාධ්‍ය කලාවට පිවිසියේය. අනතුරුව ‘දිවයින’, ‘ජනතා’, ‘ලක්මිණ’, ‘ලක්දිව’, ‘හිරු’ ආදී පුවත්පත් ගණනාවකදී නිර්භයව සිය පන්හිඳ මෙහෙය වූ මාධවයන්, 1988 – 1989 පැවැති භීෂණ යුගයේදී මරණ වරෙන්තුව සියතෙහි දරාගනිමින් අභීතව ‘පෑන’ හැසිරවීය.

මාධවයන් විසින් රචනා කරන ලද ‘සත්‍යවාදියකුගේ දිනපොත’ මෙරට තීරු ලිපි කලාවේ පරිවර්තනීය වෙනසක් ඇතිකළ අතර ‘හඬනු මැන නිදහස’, ‘අන්ධකාරයේ දරුවා’, ‘ශ්‍රේෂ්ඨයා’, ‘සැබෑ කවියකුගේ කතාව’, ‘ජීවිතය සුන්දරයි’ සහ ‘නොනිමි ජීවිත කතාව’ ඇතුළු මෙරට පාඨක සමාජය ඇදබැඳ ගත් කෘතීන් ගණනාවක් ද ඔහු විසින් රචනා කරන්නට යෙදිණ.

කොළඹ ආනන්ද විදුහලෙන් බිහිවූ දීප්තිමත් ආදි සිසුවකු වූ සුනිල් මාධවයන් මාධ්‍යවේදිනියක වන මනෝරා පේ‍්‍රමතිලක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ අතර නන්ජිත මාධව පේ‍්‍රමතිලක ඔවුන්ගේ එකම පුත‍්‍රයාය.

සුජීව තත්සර සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment