වාහන – මත්ද්‍රව්‍ය හා පරිසර ප්‍රතිපත්ති හදන්න කමිටු 3ක්

63

වාහන ආනයනය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පරිසර ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වාහන ආනයනයේදී රටේ විදේශ විනිමය තත්ත්වය, මාර්ග තදබදය, පරිසරයට වන බලපෑම් මෙන්ම මෙරට වාහන එකලස් කරන ආයතනවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ආදී කරුණු ගැන සලකා බැලීමට නියමිතය.

සිංගප්පූරුවේ වාහන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය මෙන් වාහන සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ කමිටුව සලකා බලනු ඇත.

පරිසර ප්‍රතිපත්ති සැකසීමේ කමිටුව මගින් වනාන්තර විනාශ කිරීම, ඛනිජ සම්පත් හෑරීම ආදිය පිළිබඳව ආරක්ෂණ වැඩපිළිවෙළක් සැකසීමට නියමිතය. ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය සහ ආරක්ෂක හමුදා සහාය ද ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති සැකසීමේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහය ද ලබා ගැනීමට තීරණය කර ඇත. මත්ද්‍රව්‍ය රටට පැමිණීමේ මහා පරිමාණ ජාවාරම් මැඬලීම සම්බන්ධයෙන් ද මෙම කමිටුව ක්‍රියා කරයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment