විදුලිබල මණ්ඩලයේ පාඩුවේ බර මහා භාණ්ඩාගාරයට

195

විදුලිබල මණ්ඩලය කොටස් අටකට කඩා එය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැනට ලංවීම ලබා තිබෙන රුපියල් බිලියන 400ක (කෝටි 40,000) පමණ සමස්ත පාඩුව මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවනු ඇතැයි විදුලිබල ඉංජිනේරුවෝ කියති.

ලංවීම ප්‍රතිව්‍යුහගත කරන යෝජනාවට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර මාසයක් ඇතුළත යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කර තිබිණි.

ඒ අනුව ලංවීම කොටස් අටකට කඩා බෙදාහැරීම (Disco) ලෙස සමාගම් 4 ක් සම්ප්‍රේෂණ (Transco) සඳහා සමාගම් දෙකක්, විදුලි ජනන (Genco) ලෙස එක් සමාගමක් බැගින් ස්ථාපිත කොට CEB ලෙස තවත් කුඩා ආයතනයක් පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත.

එම වැඩපිළිවෙළට අනුව 1969 අංක 17 දරන ‘විදුලිබල පනත’ සංශෝධනය කර මෙම ආයතන පිහිටුවීමට නියමිතව තිබේ.

ඒ අනුව දෙස් විදෙස් ආයෝජකයන්ට නව විදුලි බලාගාර ඉදිකිරීමට අවසර ලබාදීමටත් දැනට ආයතනය ලබන පාඩුව අවසන් කිරීමටත් සැලසුම වී ඇතැයි ඉංජිනේරුවෝ කියා සිටිති.

එහිදී ලංවීම දැනට ලබා තිබෙන රුපියල් බිලියන 400 ක මුදල භාර ගැනීමට කිසිදු ආයතනයකට නොහැකි නිසා බොල්ණය ලෙස එය ඉවත් කළ යුතුව ඇතැයි ද ඔව්හු පවසති.

මේ අතර විදුලි පාරිභෝගිකයන්ගෙන් රුපියල් කෝටි 5000 ක මුදලක් මණ්ඩලයට අයකර ගැනීමට ඇතැයි ද ගණන් බලා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment