විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 35කට 55 %ක මිල සහනයක්

196

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ඊයේ (04දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම්කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ ද පැවසීය.

පසුගිය වසර වන විට අපේ රටේ ඉන්ධන පෝලිම් තිබුණා වගේම, විදුලි කප්පාදුව ද වැඩි වශයෙන් සිදු වුණා. එම අභියෝගාත්මක කාලය පසු කරමින් නව රජය යටතේ ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන පෝලිම් නැති කිරීමටත්, අඛණ්ඩව විදුලිය සැපයීමටත් හැකි වුණා.

දශක දෙක තුනකට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන, නිෂ්පාදන මිලට අඩුවෙන් අලෙවි කර ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් ඒ සහනාධාර මුදල යටතේ විකුණන විට, පසුගිය වසරේ සැප්තැම්බර් දක්වා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවා. ඒ නිසා ඒ පාඩුවෙන් තමයි අපි දැන් ගොඩගන්න ඕන.

පසුගිය ජනවාරි මාසයේ මෙන්ම, ජුනි මාසයේ ද විදුලි මිල සංශෝධනය කිරීමට කටයුතු කළා. ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටිනවා. ඉන් ඒකක 30 සිට ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනය කරන්නන් ලක්ෂ තිස් පහකට සියයට 55ක මිල අඩු කිරීමක් අවසන් වරට කළ මිල සංශෝධනයේදී සිදු කළා. ලියාපදිංචි ආගමික සිද්ධස්ථාන 40,000ක් පමණ තිබෙනවා. ඉන් 15,000ක පමණ විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. ඒ වගේම කර්මාන්ත අංශයටත් පසුගිය විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට රජයට හැකි වුණා.

පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 409ක් ලෙස වාර්තා වුණා. පසුගිය වසරේ පමණක් එම අලාභය රුපියල් බිලියන 167.2ක් වනවා. පැවති අලාභය නිසා විවිධ අපහසුකම්වලට මුහුණදීමට සිදු වුණා.

advertistmentadvertistment
advertistmentadvertistment