විදෙස් ණය පස්සේ දුවන්නේ නෑ තනියම රට නැගිටුවන අයවැයක් ගේනවා

505

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අයවැය ලේඛනය පරීක්‍ෂා කරමින්

නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය අද

ස්වශක්තියෙන් නැගී සිටීමට සමත් ජාතියක් ගොඩනැගීම සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන ජාතික අයවැයක් තමා අද (12) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) සවස දිවයිනට පැවසීය.

දිවයින කළ විමසුමකට පිළිතුරු දෙමින් 2022 අයවැය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් මුදල් ඇමැතිවරයා මේ බව කීවේය.

මෙය විදේශ ණය පසුපස නොයා අපේම ශක්තියෙන් ජාතිය නගා සිටුවීමට ප‍්‍රවේශය සලසන අයවැයක් බව ද මුදල් ඇමැතිවරයා කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කරගනිමින් ජනජීවිත කඩිනමින් යථාවත් කිරීමට 2022 අයවැයෙන් බලාපොරොත්තු වන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

එසේම සංචාරක කර්මාන්තය පණගැන්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් මෙතෙක් ආනයනය කළ නමුත් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් පහසුකම් සලසන බව ද මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ තවදුරටත් ‘‘දිවයින’’ට කීවේය.

ශී‍්‍ර ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා යොදා ගැනීම සේම මුහුණපා සිටින විදේශ විනිමය ගැටලූව අවම කිරීම සඳහා වන කි‍්‍රයාමාර්ග ද මෙවර අයවැයට ඇතුළත් බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

2022 වසරේ රටේ සමස්ත වියදම රුපියල් බිලියන 5128ක් පමණ වන බවත් ඊට රාජ්‍ය සේවයේ වැටුප් සහනාධාර සුබ සාධන, ණය පොලී ආපසු ගෙවීම් සංවර්ධන ආයෝජන සඳහා වන වියදම් ඇතුළත්වේ.

මෙය නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය ලේඛනය සහ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරන මංගල අයවැය ලේඛනය ද වේ. එසේම මෙය වත්මන් රජයේ දෙවන අයවැය ලේඛනයයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment