විදේශිකයන් සමග විවාහ වන ලාංකිකයින්ට 01 දා සිට නව රෙගුලාසි

435

විදේශිකයාගෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් අනිවාර්යයි

විදේශිකයන් සමග විවාහ වන මෙරට පුරවැසියන්ට ලබන ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මන වන පරිදි නව රෙගුලාසි රජය විසින් පනවා ඇත.

ඒ අනුව අදාළ විදේශිකයා සිය රටේ ආරක්ෂක බලධාරීන් හරහා ශ‍්‍රී ලංකා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාදීම ලබන මස 01 වැනිදා සිට අනිවාර්ය කර තිබේ. විදේශිකයකු හා ශ‍්‍රී ලාංකිකයකු අතර විවාහයේදී, එම විදේශීය පාර්ශ්වය කිසිදු වරදකට වරදකරුවකු නොවන බවට එම රටේ ආරක්ෂක බලධාරින් වෙතින් පසුගිය මාස හයක් තුළ ලබාගත් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. ඒ සම්බන්ධ චක‍්‍රලේඛය පසුගිය ඔක්තෝබර් 18 වැනිදා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇත.

විදේශිකයන් හා ශ‍්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේදී ‘ජාතික ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම සහ උද්ගත විය හැකි සමාජයීය ගැටලූ’ සැලකිල්ලට ගනිමින් නව චක‍්‍රලේඛය නිකුත් කළ බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මහතා කියයි.

ශ‍්‍රී ලාංකිකයකු සමග විවාහ වීමට අපේක්ෂා කරන විදේශිකයා සිය රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබාගත් ‘වරදකට වරදකරුවකු නොවන බවට’ වූ නිෂ්කාශන සහතිකයේ මුල් පිටපත දේශීය පාර්ශ්වකරු හෝ දේශීය පාර්ශ්වකරුගේ නියෝජිතයකු මගින් රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි අංශය වෙත ඉදිරිපත් කළ යුතු වේ. ආරක්ෂක නිෂ්කාශන වාර්තාව තහවුරු කරගැනීමෙන් අනතුරුව රෙජිස්ට‍්‍රාර් ජනරාල් විසින් එම විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත‍්‍රයක් නිකුත් කරනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment