විමල් ඇතුළු හයකට එරෙහි නඩුව මැයි 13ට කල් යයි

32

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් විරෝධතා පා ගමනක් හා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මැයි 13 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එම නඩුවේ පළමුවන සැකකාර විමල් වීරවංශ මහතා උණ රෝගය වැළඳී ඇති බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වන බව දැනුම්දී ඇතැයි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටි සාක්‍ෂිකරුවන්ට එදින යළි පෙනී සිටින ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම නඩුවේ සෙසු සැකකරුවන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න හා මොහොමඩ් මුසම්මිල් යන පස්දෙනා ඊයේ (26දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ. පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment