විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් අවුරුදු 63 වනතුරු විශ්‍රාම ගැන්වීම වළක්වයි

379

වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත පළමු හා විශේෂ ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් හා හෙද නිලධාරීන් වයස අවුරුදු 63 වනතුරු විශ්‍රාම ගැන්වීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා සංගමයේ සහකාර ලේකම් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යලතා සොයිසා යන පෙත්සම්කරුවන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

නීතිඥ නිසංසලා විජේසිංහ මෙනවිය විසින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේ කැඳවිණි. අගමැති දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, ජනපති ලේකම්වරයා හා නීතිපතිවරයා ඇතුළු 24 දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

වයස අවුරුදු 60 සපිරෙන රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්විය යුතු බවට රෙගුලාසි පනවමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අංක 2309/04 දරන ගැසට් පත්‍රය අනුව කටයුතු කිරීම වළක්වන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 11 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය. නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ රුවන්ත කුරේ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා නීතිපතිවරයා නියෝජනය කළේය.

රාජ්‍ය හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගීතානි හේමමාලා කොටිකාවත්ත, පළමු ශ්‍රේණියේ හෙද නිලධාරිනි චිත්‍රා ජයවර්ධන හා විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි ගෝතමි ධම්මිකා ජයසිංහ යන තිදෙනා විසින් අනෙක් පෙත්සම ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment