විස්කි බෝතලය සහ සිසුවා

1186

හලාවත පාසලක සිසුවකු තම පාසල් බෑගයේ මත්පැන් බෝතලයක් සඟවාගෙන පැමිණ සිටියදී ශිෂ්‍ය නායකයන්ට හසු වී තිබේ. නවවැනි වසරේ සිසුවකු වන අදාළ සිසුවා පාසල තුළට මෙසේ ගෙනවිත් ඇත්තේ විස්කි බෝතලයකි. තම පියා විස්කි බෝතලය ගෙදර ගෙනා බවත්, එය මිතුරකු සමග පානය කිරීම සඳහා පාසලට රැගෙන ආ බවත් සැකකාර සිසුවා කියා තිබේ. සිසුවාට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කර ඇති අතර ඔහුගේ මව්පියන්ට ද සිද්ධිය දැන්වීමට විදුහල්පතිතුමා කටයුතු කර තිබේ. නවවැනි වසරේ සිසුවකු යනු අනාගතය සඳහා සූදානම් වන ශිෂ්‍යයෙකි. අ.පො.ස. සා. පෙළ. විභාගයට පෙනී සිට ඉන් පසු උසස් පෙළ විභාගය හරහා විශ්වවිද්‍යාලයට යෑම ඔහුට හිමි සාමාන්‍ය ගමන් මඟ වේ. එසේ තිබියදී විදුහල්පතිතුමා විසින් පෙර කී ශිෂ්‍යයාගේ බෙල්ලෙන් අල්ලා ඔහු විදුහලෙන් ඉවතට පලවා හැරියේ නම් විශාල අනර්ථයක් වීමට ඉඩ තිබිණි. එබැවින් ඒ අන්තයට නොගොස් මානුෂීය මට්ටමින් කටයුතු කිරීම ගැන මේ විදුහල්පතිතුමාට අප ස්තුතිවන්ත විය යුතුය. ඇතැම් පාසල්වල සිටින සාම්ප්‍රදායික විදුහල්පතිවරු පෙම් හසුනක සිදුවීමකට පවා ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යාවන් පාසලෙන් එලවා දමන අවස්ථා ඇත. එතැනින් එම සිසු සිසුවියන්ගේ අනාගතය සම්පූර්ණයෙන් ම අන්ධකාරයට පත් වේ.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය බෙහෙවින් වෙනස් වී තිබේ. 1977 දක්වා මේ රටේ පැවැති පාසල් පද්ධතිය සාම්ප්‍රදායික පද්ධතියකි. එහෙත් 1977 දී විවෘත ආර්ථිකය සහ ගෝලීයකරණය මගින් ලෝකය ආක්‍රමණය කිරීමත් සමගම යුරෝපයේ පාසල් පමණක් නොව ආසියාවේ පාසල්වල ද විශාල මතවාදී වෙනසක් ඇතිවිය. ආසියාවේ පාසල් තවදුරටත් ජාතික හෝ ආගමික හරපද්ධතීන් අනුගමනය කිරීම අඩු කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී මේ තත්ත්වය බරපතළ විය. ඒ අතර වසර 2000 න් පසු අන්තර්ජාලය සහ ජංගම දුරකථනය විසින් මේ රට ආක්‍රමණය කරන ලදි. අන්තර්ජාලය යනු බ්ලූ ෆිල්ම් සාගරයකි. ස්මාර්ට් ෆෝන් පැමිණීමත් සමගම ඕනෑම පාසල් දරුවකුට නිදහසේ බ්ලූ ෆිල්ම් බැලීමට අවකාශ ලැබිණ. අන්තර්ජාලයේ බොහෝ දේ පෙන්වනු ලැබේ. විටෙක බෝම්බ හදන හැටි, තවත් විටෙක අරක්කු පෙරන හැටි අන්තර්ජාලයෙන් බලා ගත හැකිය. මේ නිසා සමස්ත ලෝකයම හොඳ සහ නරක යන දෙකම සමග සිය අල්ලට ගැනීමට පාසල් දරුවන්ට හැකි විය. පසුගිය කාලයේදී මේ රටේ සිදු වූ අපරාධ ව්‍යාප්තියට සහ සමූහ දූෂණවලට අන්තර්ජාලයේ තිබූ දත්ත මගින් ලැබුණු සහයෝගය ඉතා ඉහළ ය.

අද ඕනෑම ළමයෙකුට ඉන්ටර්නෙට් එක බලාගෙන ඕනෑම දෙයක් කළ හැකිව තිබේ. අන්තර්ජාලය නරක දෙයක් යැයි අපි නිකමටවත් නොකියමු. එය දැනුම් සාගරයකි. කුණුහරුප ද සාගරයකි. දැනුම සහ කුණුහරුප අතර වෙනස වටහා ගැනීමට ළමයින්ට නොහැක. කුණුහරුපවලින් ලබාගත හැකි උත්තේජනය වැඩි නිසා ළමයින් නැඹුරු වන්නේ දැනුම වෙතට නොව කුණුහරුප වෙතට ය. මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයකි. අසූචි ගොඩක් සහ බත් පතක් එක ළඟ තැබූ විට මැස්සන් වැඩිපුර එන්නේ බත්පතට නොව අසූචි ගොඩට ය.

අප ඉහතින් සඳහන් කර ඇත්තේ ලෝකය වෙනස් වී ඇති අන්දමයි. වෙනස් වූ මේ ලෝකය හැදීමට වඩා කළමනාකරණය කර ගැනීම පහසු ය. ලෝකය අලුතෙන් හදන්නට ගියහොත් ලෝක විනාශයක් සිදුකර සියල්ල මුල සිටම පටන්ගත යුතු ය. ඒත් ලෝකය කළමනාකරණය කරනවා නම් තිබෙන සම්පත් යොදාගෙන එම කළමනාකරණය සිදුකළ හැකිය.

නූතන පාසල අන්තරාදායක තැනකි. ගුරුවරුන් අතින් සිසු සිසුවියන් කෙළෙසෙන අවස්ථා පාසල් පද්ධතිය තුළ බොහෝ විට තිබේ. මේ තත්ත්වය වෙනස් කිරීමට නොහැකි අතර අවශ්‍ය වන්නේ එම තත්ත්වය වැළැක්වීම සඳහා හැමදෙනාම සුපරික්‍ෂාකාරීව සිටීම පමණි. හලාවත පාසලේ ශිෂ්‍ය නායකයන්ගේ අවධානය නිසා විස්කි බෝතලය හසු වූ අතර, එය විදුහලට ගෙනා සිසුවාගේ අනාගතය ද ආරක්‍ෂා විය.

advertistmentadvertistment
advertistmentadvertistment