ශ්‍රී පාද වන්දනාව අවාරෙට තහනම්

422

අවසරයක් නැතිව යන්න බෑ – ශ්‍රීපාද වන්දනා සංවිධාන කමිටුවෙන් තීරණයක්

අවාරේ ශ්‍රීපාද වන්දනා සීමා කිරීම සඳහා ශ්‍රීපාද වන්දනා සංවිධාන කමිටුව තීරණය කරනු ලැබීය.

එම කමිටුව ඉකුත්දා රත්නපුර පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඌව වෙල්ලස්ස විශ්වවිiාලයේ කුලපති ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ අවාරයේ ශ්‍රීපාද කරුණාව කිරීම නිසා ගැටලු රැසක් පැන නැගී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ ත්‍රාසය හා වීරත්වය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඇතැම් පුද්ගලයන් අවාරය තුළ ශ්‍රීපාදය තරණය සඳහා පෙළඹී ඇති බවය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවේ ශ්‍රීපාද වන්දනා වාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස පොහෝදා ආරම්භ වී ඊළඟ වර්ෂයේ වෙසක් පොහොය දක්වා පැවැත්වෙන බවය.

වෙසක් පොහොය දිනෙන් පසු එළඹෙන දෙසැම්බර් මස පොහොය දිනය දක්වා ශ්‍රීපාද වන්දනාවේ අවාරය ලෙස දුරාතීතයේ පටන් පැවතගෙන එන බවද උන්වහන්සේ මෙහිදී පැවසූහ.

ශ්‍රීපාද වන්දනා වාරය සමයේ පරිසරය ඊට උචිත ලෙස පවතින බව පැවසූ ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් අවාර සමයේ දී වැසි, සුළං, වැනි ශ්‍රීපාදස්ථානයට ප්‍රවේශ වීමට උචිත පරිසර තත්ත්වයක් නොවීම ලෙස වාර සහ අවාර ලෙස නම් කිරීමට හේතු වූ බවයි.

ශ්‍රීපාද වන්දනා සමයේ ඇති විදුලිය, ජලය, මහජන ආරක්‍ෂාව, සෞඛ්‍ය සේවා, ආහාර පාන සැපයුම යනාදිය අවාර කාලයේ නොමැති බවද ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුයේ යම්කිසි රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, විදේශ සංචාරකයන් සහ වෙනත් පුරාණ සිරිත් විරිත්වලට යටත්ව ඇති භාර හාර ආදිය සඳහා වන්දනා කටයුතුවල නිරත වන්නට අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බවද උන්වහන්සේ මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පැවසුයේ අවාරයේ සිරිපා වන්දනාව නිසා මතු වී පවතින ගැටලුවලට පිළියමක් ලෙස රජයේ නීති අනුව යම් යම් සීමාවන් පැනවීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා හා මෙම කමිටුව දැක්වූ අදහස් අනුව කටයුතු කරන බවය.
කහවත්ත සමරවීර නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment