අයිසීසී රතු ලකුණ පෙබරවාරියේදී කොළ පාට වේවි – ක්‍රීඩා ඇමැති හරීන් කියයි

105

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ලබන මස 15 වැනිදාට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීළඟ හමුව තිබෙන්නේ මාර්තු මාසයේදීය.

එහෙත් ඊට පෙර “සූම්” හමුවකින් ඔවුන් රැස්වී එම තහනම ඉවත් කරනු ඇතැයි මෙරටට පැමිණි අයිසීසී ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා ප්‍රමුඛ නිලධාරීන් තමාට බලාපොරොත්තුවක් දුන් බවද ඇමැතිවරයා කීය.

පෙබරවාරි 15 වැනිදාට පෙර එම තහනම ඉවත් කර ගැනීමට හැකි වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සහ තමන්ව අයිසීසී නිලධාරීන් පෙරේදා මුණගැසුණු බවත් යළි අතුරු කමිටු පත් නොකරන බවට ශ්‍රී ලංකාව සහතික විය යුතු බව එහිදී අයිසීසී නිලධාරීන් පැහැදිලිව ප්‍රකාශ කර සිටි බවත් ඇමැතිවරයා පැවසීය.

“ජනාධිපතිවරයා එහිදී පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා. ඒකෙන් ඇමැතිගේ බලතලත් අයින් කරනවා කියලා. අපි අතුරු කියන එක නැති කරනවා කිව්වා. ක්‍රිකට් ආයතනය තමයි ඒ අයගේ සාමාජිකයා කියලා අයිසීසී නිලධාරීන් කිව්වා. ඒ නිසා ඒ අයට ඒ මුදල් වියදම් කිරීමේ බලය සහ අයිතිය තියෙනවා කිව්වා. අදාළ වාර්තාව ගැන අයිසීසී එකට දීලා තියෙන තොරතුරු ගැන ඒගොල්ලො සෑහීමකට පත්වෙනවා කිව්වා. ඒ නිසා ඒ ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා කිව්වා.”

මේ වසරේ අයිපීඑල් තරගාවලියේ තරග තුනක් පමණ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා තමන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳවද සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම පළමු වරට පවත්වන වයස අවුරුදු 50 න් ඉහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂාවෙන් පසු වන බව ද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී සහ මෑතකදී ලද පරාජයන් පිළිබඳව කවුරුන් හෝ වගකීම භාරගත යුතු බවද ඇමැතිවරයා පැවසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment