චෙස් පදක්කම් දිනූ ශූරයෝ යළි දිවයිනට එති

119

කිර්ගිස්තානයේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලිය – 2023 සහභාගී වී රන් පදක්කම් 03 ක් සහ රිදී පදක්කම් 04 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම තරගාවලිය පසුගිය 30 වැනිදා සිට පසුගිය 10 දින දක්වා, රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී කොළඹ ඉචෙලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන සිසුවිය රන් පදක්කම් 02 ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියාය.

එසේම කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන සුසල් ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මීට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන විනුක දිසේන් විජේරත්න සහ රත්මලාන ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 03 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුක් තෙවුසස් පෙරේරා මෙම තරගාවලියේදී රිදී පදක්කම බැගින් දිනා ගැනීමට සමත් වී සිටියහ.

එමෙන්ම කණ්ඩායම් තරග සඳහා රටට පදක්කම් 04 ක් හිමි වී තිබූ අතර, ඒවා රිදී සහ ලෝකඩ පදක්කම් 02 බැගින් දිනූ ක්‍රීඩකයන් සිව්දෙනෙකු විසින් දිනා ගෙන තිබුණි.

රන් පදක්කම් දිනූ සුසල් ද සිල්වා සහ විනුක දිසේන් විජේරත්න ක්‍රීඩකයන් දෙදෙනා උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට නොපැමිණ පිටත්ව ගොස් තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment