ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොළට එක්වන හැටි ජනපති කියයි

260


මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැහි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද අවුකුස් ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්‍රර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට පසුගිය 24 දා සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දර්ශනයට ශ්‍රී ලංකාව එකඟවන බව ද පැවසූ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර දෙකකින් සමන්විත වන බවත් ඉන්දියන් සාගරයේ නාවික යාත්‍රා කිරීමේ නිදහස සහ මුහුද යට කේබල්වල ආරක්ෂාව සඳහා අපේ රට කැපවී සිටින බවත් එබැවින් ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළේය.
ශ්‍රි ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ද පැවසීය.
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති බවත්, එම සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මත බවත් වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී කලාපය තුළ අපගේ උපායමාර්ගික පිහිටීම භාවිතයට ගත යුතු බව ද සඳහන් කළේය

advertistmentadvertistment
advertistmentadvertistment