ලෝකයට ණය නැති කෘෂි තාක්ෂණය රටට දෙන්නට සබරගමුව විශ්වවිද්‍යාලය පෙරමුණ ගනී

585

ෆුල්ඩා ආයතනය පාඨමාලාවට අත දෙයි….

වසර සිය දහස් ගණනක පාරම්පරික, තිරසර කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලාංකිකයන්ට තිබුණද, වර්තමානයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සියයට 98 ක් පමණම රඳාපවතින්නේ ආනයනික කෘෂි යෙදවුම් මතය. වී ගොවිතැන හැරුණු කොට අනෙකුත් සියලු වගාවන්හි බීජ හා සියලු වගාවන්ට යොදන පොහොර, කෘමි නාශක, දිලීර නාශක, වල් නාශක අනෙකුත් යෙදවුම් සියල්ලම විදෙස් රටවලින් ආනයනය කරනු ලබන අතර, සැබැවින්ම රටේ කෘෂිකර්මාන්තය පවතින්නේ විදෙස් රටවලට ඉතා ගැතිවය. එසේ හෙයින් රට තුළ කෘෂිකාර්මික ස්වෛරීතත්වයක් ගොඩනැඟීමේ දැඩි අවශ්‍යතාවක් පැනනැඟී ඇති මොහොතකි මේ. විශේෂයෙන්ම ලෝකය යුද උණුසුමෙන් හා කාලගුණික උණුසුමෙන් ගිනියම් වී ඇති මොහොතක රටේ ආහාර ස්වෛරීභාවය – Food Sovereignty ගොඩනැගීම වහ වහා සිදුකළ යුතු කාර්යයක් බවට පත්ව ඇත. එය බොහෝ දෙනා මතුරන “ආහාර (කෘෂි) සුරක්ෂිත බව” – Food Security) නොවේ. එසේ නම් රටේ දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් රට තුළ සැබෑ ආහාර ස්වෛරීත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නිවැරදි කෘෂි තාක්ෂණය රටට ගෙන යෑම අද අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. නමුත් ඇත්ත නම්, තවදුරටත් සිදුවෙමින් පවතින්නේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පවා විදේශීය යැපුම් කෘෂිකර්මයම ප්‍රචලිත කරන කෘෂි තාක්ෂණික අධ්‍යාපනයක් දැයේ දරුවන්ට ලබාදීම මිස රටට ගැළපෙන සැබෑ ස්වෛරී කෘෂිකාර්මික තාක්ෂණයක් ප්‍රචලිත කිරීම නොවේ.

ලෝකයට ණය නැති කෘෂි තාක්ෂණය රටට දෙන්නට සබරගමුව විශ්වවිද්‍යාලය පෙරමුණ ගනී

මෙම දැවැන්ත අඩුපාඩුවට විසඳුමක් ලබාදෙන්නට රාජ්‍ය කෘෂිකාර්මික ආයතන කිසිවකුත් ඉදිරිපත් නොවන පසුබිමක, විශ්වවිද්‍යාල වරම් අහිමිවුවත් නැවත රටට ගැළපෙන නිවැරදි කෘෂි තාක්ෂණයක් රටට ගෙන යෑම සඳහා වන වැදගත් පියවරකට සබරගමුව විශ්වවිද්‍යාලය තම එකඟතාව කෙරුණේ පසුගිය 17 ඉරිදා කැකිරාව -ඔලොම්බෑව “ෆුල්ඩා” ශිෂ්‍ය සහන සංවිධානය මගින් සංවිධානය කර තිබුණු උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

රටට අත්‍යවශ්‍ය ස්වෛරී කෘෂිකාර්මික තාක්ෂණයක් දැයේ දරුවන්ට ලබාදීම සඳහා මෙහිදී ජර්මනියේ “ෆුල්ඩා” ආයතනය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය අතර එකඟතාවකට පිවිසි අතර, විශ්වවිද්‍යාල අහිමි, එහෙත් රටට අවශ්‍ය කෘෂි තාක්ෂණය ඉගෙන

ගැනීමට කැමැත්තක් දක්වන පිරිස් සඳහා සහතික පත් පාඨමාලාවක් පැවැත්වීම සඳහා මෙසේ මෙම ආයතන දෙක අත්වැල් බැඳගන්නා ලදී.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය වෙනුවෙන් මෙම අවස්ථාවට මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සහභාගි වූ අතර, “ෆුල්ඩා” ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ අයිවෝ වැන්කියුලන්බර්ග් මහතා අදාළ එකඟතා යෝජනා හුවමාරු කර ගන්නා ලදී.

මේ අනුව ඉදිරියේදී පාසල් හැරගිය, එහෙත් දේශීය, ස්වෛරී කෘෂි තාක්ෂණය ඉගෙන ගැනීමට කැමති ඕනෑම අයකු සඳහා පාඨමාලාවක් සැලසුම් කරන බව මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා ප්‍රකාශ කළේය.

“මෙම පාඨමාලාව පැය සියයක පාඨමාලාවක්. ඒ සඳහා වයස් භේදයකින්, ජාති භේදයකින් තොරව, ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. වෙනත් බොහෝ රටවලත් මෙසේ වයස් භේදයකින් තොරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පාඨමාලා සැලසුම්කර තිබෙනවා. ඉතින් අපිටත් එහෙම කරන්න පුළුවන්. වඩා වැදගත් කාරණය වන්නේ වයස නොවේ. රටට ගැළපෙන මේ කෘෂි තාක්ෂණය ඉගෙන ගෙන ඒ දැනුම තව තව අයට කියාදෙන්න පුළුවන් කණ්ඩායමක් මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ අවශ්‍යතාවයයි. එතකොට ඔය අපි කියන ස්වෛරී කෘෂිකර්මයට ඉතා ඉකමණින් අපට ළඟාවෙන්න පුළුවන්.” මහාචාර්ය යාපා මෙහිදී පැවසීය.

එසේම, රටට අවශ්‍යම අවස්ථාවක මෙවන් පාඨමාලාවක් සඳහා ඉතා ඉහළ අවබෝධයකින් යුක්තව අනුග්‍රාහක දායකත්වය ලබාදෙන්නට ඉදිරිපත් වූ “අයිවෝ වැන්කියුලන්බර්ග්” මහතා ප්‍රමුඛ “ෆුල්ඩා-ජර්මන්” ආයතනයට, පාඨමාලාව සම්බන්ධීකරණය සඳහා මැදිහත්කරණය කළ ජයන්ත විජේසිංහ මහතාට සහ උත්සව සභාවට එක්ව සිටින ජර්මානු සහෝදර සහෝදරියන්ට තමා බෙහෙවින් කෘතවේදී වන බවද මහාචාර්ය ප්‍රියන්ත යාපා පැවසීය.

“ලංකාවට අත්‍යවශ්‍ය වෙලාවක, අත්‍යවශ්‍ය කෘෂි තාක්ෂණය ගමේ ජනතාවට දෙන්න, ගමේ දූදරුවන්ට දෙන්න “ෆුල්ඩා” ආයතනය මේ කරන ලද උදව්ව වෙලාවටම කරන ලොකුම උදව්වක්. මේකෙ උපරිම ප්‍රයෝජනය අරගෙන අපි සබරගමුව විශ්වවිද්‍යාලය හරහා ස්ව ශක්තියෙන් නැඟිටින දේශීය කෘෂිකර්මාන්තයක් තුළින් රටේ ජනතාවගේ බඩගින්න සැබෑ ලෙස නිවන වැඩපිළිවෙළ කරගෙන යන්න අපි උත්සාහ ගන්නවා.” යැයි ද මහාචාර්යවරයා පැවසීය.

“ඔබට සිටිනවා නම් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත දුවෙක් පුතෙක් ඔබේ කෘෂිකර්මයට උදව් කරන… නූතන, රටට ගැළපෙන කෘෂිකර්මාන්තය කැපවීමෙන් ඉගෙන ගන්න කැමති එයා කැමති නම් සහ මෙවන් අධ්‍යාපනයක් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ලබන්නට කැමති නම්, කරුණාකර මේ පාඨමාලාවට යොමුකරන්න. අපි ඒ සඳහා තමයි මේ පාඨමාලාවට අනුග්‍රහය දක්වල මේ පාඨමාලාව පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. මූලික කෘෂිකර්ම දැනුම නැතත්, නූතන කෘෂි තාක්ෂණික දැනුම ඉගෙන

ගන්න කැමති අයට සැලසුම් කරන මේ පාඨමාලාව සඳහා අපි ආයතනයක් හැටියට දිගටම උදව් කරන්න කැමතියි” යැයි “ෆුල්ඩා” ආයතනයේ අධ්‍යක්ෂ “අයිවෝ වැන්කියුලන්බර්ග්” මහතා මෙහිදී පැවසීය.

මේ අනුව රටට ගැළපෙන ස්වෛරී කෘෂිකර්මාන්තයක් සඳහා වන අගනා පාඨමාලාවක් නුදුරේදීම සබරගමුව විශ්වවිද්‍යාලය මගින් සැලසුම් කර දියත් කිරීමට නියමිතව ඇත. ඒ සඳහා ජර්මානු මිත්‍රත්වයේ දෑත් දිගුවන බව මෙම උත්සවයේදී අවධාරණය කෙරිණි.

මෙම පාඨමාලාව සම්බන්ධීකරණය කරන්නට කටයුතු කරන ලද “කැලණි සවිය” නිර්මාතෘ ජයන්ත විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ තමා වසර ගණනාවක සිට බලාපොරොත්තුව සිටි කටයුත්තක් අද මල්ඵල ගැන්වුණු බවයි. තමන් මේ ආකාරයෙන්ම අධ්‍යාපනය හැර ගිය තරුණයන් සඳහා “කැලණි කේබල්” අනුග්‍රහයෙන් ආරම්භ කරන ලද විදුලි කාර්මිකයන් සඳහා විශ්වවිද්‍යාල සහතිකයක් ලබාදීමේ වැඩසටහන සේම ගොවි තරුණ – තරුණියන් විශ්වවිද්‍යාලයට ගෙන්වා නිවැරදි – පිළිගත් කෘෂිකර්ම පුහුණුවක් ලබාදීම මේ අනුව යථාර්ථයක් වනු දැක්ම ගැන තමන් සතුටු වන බවද විජේසිංහ මහතා පැවසීය.

“ෆුල්ඩා” ශිෂ්‍ය සහන පදනම පිහිටුවා වසර 30 ක් සපිරීම නිමිත්තෙන් කැකිරාවේ කලාවැව අද්දර ඔලොම්බෑවේ පිහිටි පෙර ළමා විය සංවර්ධන පුහුණු ආයතන පරිශ්‍රයේ පිහිටි සුන්දර කෘෂිකාර්මික ස්ථානයකදී උත්සවය සංවිධානය කර තිබුණු අතර, එම ආයතනයේ විදුහල්පතිනි රේණුකා කුමුදුනී රත්නායක මහත්මිය ප්‍රමුඛ දූ-දරු-වැඩිහිටි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්විණි.

  • ජගත්
advertistmentadvertistment
advertistmentadvertistment