සාර්ථකත්වයේ අවිය පරාජය ද?

140

අප සියලු දෙනාගේම සිහිනය ජය ගැනීමයි. ඒ අරමුණින් අප ඇප කැප වී කටයුතු කරන්නෙමු. අප ජීවත්වන ප්‍රායෝගික ලෝකය තුළ පරාජයට පත් නොවූවකු සොයා ගැනීම අසීරු ය. ලෝකයේ සාර්ථක පුද්ගලයාගේ සිට අසාර්ථක පුද්ගලයා දක්වා සියලු දෙනාම පාහේ අඩු වැඩි වශයෙන් පරාජිත අත්දැකීම්වල උරුමක්කරුවෝ වෙති. එලෙස පරාජය වීම අධ්‍යාපනික, වෘත්තීමය, ගෘහ ජීවිතය තුළ සේම සමාජ ජීවිතය වැනි ඕනෑම ක්ෂේත්‍රයක සිදුවිය හැකිය.

සෑම විටම සාර්ථක පුද්ගලයෝ සිය පරාජය තම ඉගැනුම් අවස්ථාවක් කර ගනී. ඔවුන් කිසිවිටෙකත් පරාජයට බිය නොවේ. ජීවිත ජයග්‍රහණය කරා යන ගමනේදී තමා ලද පරාජය ධෛර්යයක් කර ගනී. විදුලි බල්බය සොයා ගැනීමට තැත් කිරීමේදී ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් “මම බල්බය සොයා ගැනීමේදී පරාජයට පත් වූයෙමි. එහෙත් 1200 වතාවක් බල්බය වැඩ නොකරන ආකාරය පිළිබඳව සොයා ගැනීමට සමත් වූයෙමි” යනුවෙන් ප්‍රකාශ කර ඇත. සුප්‍රසිද්ධ දාර්ශනිකයකු වූ කොන්ෆියුසියස් පවසා ඇත්තේ අපගේ ඉහළම උද්දාමය කිසි දිනක නොවැටී සිටීම නොව වැටුනු සෑම විටම ශක්තිමත්ව නැඟීසිටීම බවය. සුප්‍රසිද්ධ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සෑම පරාජයක් තුළම ඉතා අගනා ජයග්‍රහණයකට අවස්ථාවක් ඇති බව ප්‍රකාශ කර ඇත.

ග්‍රී ලාංකිකයන් ලෙස අප අද වන විට මුහුණ දී ඇති පරාජය සම්බන්ධ ප්‍රධානම ගැටලුව වන්නේ අප තුළ පවතින ආකල්ප ය. බොහෝ දෙනා පරාජයට ඇති බිය නිසාවෙන් ජීවිතයෙහි අවශ්‍යතාවයන් හා අරමුණු කරා ගමන් කිරීම සඳහා මුලපිරීමට පසුබට වේ. වත්මන් සමාජය තුළ ලෝකයේ විශිෂ්ටත්වයට පත්විය හැකි බොහෝ දෙනා සිය ශක්තිය අපතේ හැර සිටිති. ඔවුන් තම අරමුණු සහ සිහිනවලට ගමන් කිරීම වෙනුවට වෙනත් අයවලුන්ගේ අරමුණු හා සිහිනවලට කොටු වී සිටී.

පරාජයට සාර්ථකව මුහුණ දීම සාර්ථක ආරම්භයකට මුලපිරීමක් බව විශ්වාස කළ හැකි නම් ඔබට ද සාර්ථකත්වයට ළඟා විය හැකිය. එම නිසා තමන් ලද අති විශාල පරාජයන් හමුවේ වුව ද ජයග්‍රහණයේ සිහිනයෙන් අවදි නොවන්න. තම බුද්ධිය සහ දක්ෂතා භාවිතා කරමින් සාර්ථක ජීවිතයක් ළඟා කර ගන්න නිරන්තරයෙන් උත්සහ ගන්න. මේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය මුලපිරීම් ආරම්භ කිරීමට ඇති හොඳම අවස්ථාවයි. එබැවින් ඔබට මුහුණදීමට සිදුවන පරාජය තාවකාලික යැයි සිතා එය ඉගැනුම් අවස්ථාවක් කර ගැනීමට උත්සහ කරන්න. එවිට ඔබ විශිෂ්ටයකු, තෘප්තිමත් පුද්ගලයකු බවට පත් වන ගමන කිසිවකුටත් වැළැක්වීමට නොහැකි වනු ඇත.

ජේ.ඒ. කසුනි සසිකලා මධුෂානි
කැළණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment