ශ්‍රී ලංකා කනිෂ්ඨ  මේස පන්දු සංචිතය වැඩ අල්ලයි

119

එළැඹෙන දකුණු ආසියාතික කනිෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයේ පුහුණු කිරීම් මේ දිනවල කොළඹ ගල්කිස්සේ පිහිටි ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සිදු කෙරේ.

බුද්ධික දික්කුඹුර සහ ලක්ෂාන් හර්ෂණ යන මහත්වරුන්ගේ උපදෙස් අනුව පුහුණුවීම් ලබන මෙවර සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14 දෙනෙකි.

අවුරුදු 19 න් පහළ වයස් සීමාව යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනකු ද වයස අවුරුදු 15 න් පහළ වයස් සීමාව යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු ද මෙවර සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය පියවර ගෙන තිබුණි.

ජාතික කනිෂ්ඨ සංචිතයේ කළමනාකරු ලෙස බුද්ධික නියරේපොළ මහතා කටයුතු කරන අතර ෂර්මිලා මනෝජිකා මහත්මිය බාලිකාවන් භාර නිලධාරීනිය ලෙස සංචිතයට එක්ව සිටින්නීය.

මෙවර දකුණු ආසියාතික කනිෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලිය මාලදිවයිනේ මාලේ අගනුවරදී පැවැත් වීමට දකුණු ආසියාතික මේස පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ මෙන්ම දකුණු ආසියාතික මේස පන්දු සම්මේලන සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කටයුතු කරයි. දකුණු ආසියාතික කලාපීය මේස පන්දු සම්මේලන සභාපති ධුරයට පත් වීමෙන් අනතුරුව මෙහෙයවනු ලබන පළමු අන්තර් ජාතික තරගාවලිය ද මෙය වෙයි.

අවුරුදු 19 පහළ බාලක සංචිතය

චනුල් දුල්ෂාන්, ධනුෂ්ක විඡේසිංහ, තිස්ස රංචාගොඩ සහ හිරුෂ වරුෂවිතාන.

අවුරුදු 19 පහළ බාලිකා සංචිතය

බීමන්දී බණ්ඩාර, අයිලා චිට්ටී, මනීෂා ශාලින්දී සහ සඳුනි ප්‍රබුද්ධිකා.

අවුරුදු 15 න් පහළ බාලක සංචිතය

දෙව්මෙත් වීරසේන, ජනිත් බටුගෙදර සහ ඩිරාන් හාමර්.

අවුරුදු 15 න් පහළ බාලිකා සංචිතය

ලෙසන්යා සෙතුමදී, ටමාදී කාවින්ද්‍යා සහ ඉමල්ෂා සෙව්මිණී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment