ශී‍්‍ර ලනිප මන්තී‍්‍රවරුන්ගෙන් කොවිඞ් අරමුදලට ලක්‍ෂ 14ක්

134

රජය කොවිඞ් වසංගතය තුරන් කිරීමට සහ රෝගීන් බේරා ගැනීමට ගන්නා උත්සාහයට ශක්තිය ලබාදෙමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (25දා* පිහිටුවූ කොවිඞ් අරමුදලට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 14 දෙනා රුපියල් ලක්ෂ 14ක් පරිත්‍යාග කළහ.

 ඔවුන් සිය වැටුප වන රුපියල් 54,285 ට තවත් රුපියල් 54,715ක් එකතු කර රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 14ක් පක්ෂ භාණ්ඩාගාරිකවරයා වෙත භාර දී තිබේ. මෙහිදී අදහස් දක්වමින් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

 ‘‘මේ අවස්ථාවේ කළ යුත්තේ රජය විවේචනය කිරීම නොව කොවිඞ් වසංගතය මැඬපැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය ලබා දීමයි. අසරණ රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි යම් කාර්යභාරයක් තිබේ නම් එය ඉෂ්ට කිරීම අපේ වගකීමක්. මීට පෙර අවස්ථාවලදීත් අපේ මන්ත‍්‍රීවරුන් තමන්ට කළ හැකි උපරිම අයුරින් සිය පළාත් තුළ වසා දැමූ ගම්වල සිටින රෝගීන් සඳහා විවිධ අයුරින් උපකාර කරමින් කටයුතු කළ ආකාරය ද ප‍්‍රශංසනීයයි’’ මෙම මුදල් යොදවා ග‍්‍රාමීය රෝහල්වල අඩුපාඩු සොයා බලා අවශ්‍ය උපකරණ ලබා දීම සිය බලාපොරොත්තුව බවත්, මේ වන විට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සිය වැටුප ලබාදීමට කැමැත්ත පළ කර සිටින බවත් හෙතෙම පැවසීය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුද, ආසන සංවිධායකවරුද සහභාගි වූහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment