සජබට අනීතිකව පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා – ස.ජ.බ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

69

සමගි ජන බලවේග විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31 දා) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණවලට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නැති බවත් නමුත් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණවලට අනීතිකව පහර දෙන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද සඳහන් කළේය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න ඊයේ දිනයේදී කොළඹට විශාල පිරිසක් එක්වුණා. ඒ විරෝධතාවය ඉතා සාර්ථික විරෝධතාවයක් වුණා. ඒ විරෝධතාවයට බයවුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස්ගේ පොලිසිය යොදවලා ම්ලේච්ඡ විදිහට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් කිහිපදෙනෙකුට මේ නිසා රෝහල්ගත වීමට සිදුවුණා. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා මේ විරෝධතා නවත්වන්න බෑ.

විරෝධතාවයට එරෙහිව අධිකරණයට

ගොස් තහනම් නියෝග ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා. විරෝධතාවට එරෙහිව තීන්දුව ගන්න කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කුරුඳුවත්ත පොලිසිය ගිය වෙලාවේ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ විරෝධතා පවත්වන්න, ජනමතය ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව තිබෙන බව. ඒ නිසා විරෝධතාවට තහනම් නියෝගයක් නිකුත් කරන්න නොහැකි බව කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා.

එසේ තිබියදී අනීතිකව පොලිසිය පැමිණ කුරුඳුවත්ත පොලිස්බල ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. විරෝධතා කරන්න අයිතිය තිබෙන බව අධිකරණය පවසනවා නමුත් පොලිසිය එය වළක්වනවා. පොලිසිය භාර ඇමැති ටිරාන් අලස්ටත්, නීතියට ගරු කරන්නේ නැති අධිකරණ තීන්දුවට ගරු කරන්නේ නැති පිරිස වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට , විහාරමහා දේවි උද්‍යානයට පැමිණි පිරිසට, මහජන පුස්තකාලයට පැමිණි පිරිසට කඳුළු ගෑස් ප්‍රහාර පොලිසිය විසින් එල්ල කර තිබුණා. මැර හමුදාම යොදවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට පැමිණෙන විරෝධය මර්දනය කරන්න උත්සාහ කරනවා. නීතිය අනුව කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දෙනවා. අනීතිකව කටයුතු කළොත් අධිකරණයේදී උත්තර දෙන්න සිදුවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කරලා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරීමේ අයිතිය නැති කර තිබෙනවා.

අවුරුදු 25 ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිසා කදුළු ගෑස් සහ ගුටි කෑවා. අදවනවිට ඒ පිරිසට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් පහර දෙනවා. ජනතා විරෝධය ගොඩනැගෙන අවස්ථාවේ රටේ ඒකාධිපති වියරුවක් විසින් එය මර්දනය කරන්න උත්සාහ කරනවා. ඒක සිදුකරන්න ඉඩ දෙන්නේ නෑ. රජයට විරුද්ධව රනිල් වික්‍රමසිංහට විරුද්ධව ජනතාව ඒකරාශි කරගෙන ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ගහන්න ජල ප්‍රහාර ගහන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ සමග ජනධිපතිවරයාට තිබෙන ඩීල් එක මොකක්ද කියලා අපි දන්නේ නෑ. රාජපක්ෂලා එක්ක රනිල් වික්‍රමසිංහ අවුරුදු 25 ක් ඩීල් දේශපාලනයේ නියැලුණා. ඒකට තැග්ගක් විදිහට රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය හමුවුණා. ජනතා විමුක්ති පෙරමුණ ජනධිපතිවරයා සමග ගණුදෙනුවක් තිබෙනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment