සති දෙකක් ඇතුළත විසඳුමක් නැතිනම් අස්වෙනවා

290

මෙහෙම ගියොත් අර්බුද වැඩිවී රටේ ප්‍රචණ්ඩ ක්‍රියා විරෝධතා ඇතිවේවි

දේශපාලන පක්‍ෂ එකතු වී රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනට ඇති කර නොගන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ඇතුළු පක්‍ක්‍ෂ නියෝජිතයන්ට පැහැදිලිව ප්‍රකාශ කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11දා) මහ බැංකු මූලස්ථානයේදී පැවසීය.

රටේ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනට ඇතිකර නොගන්නේ නම් ඔබ ඉල්ලා අස්වන බවට දේශපාලන පක්‍ෂ නියෝජිතයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා දැයි මාධ්‍ය කළ විමසුමකදී මහ බැංකු අධිපතිවරයා ඒ බව තහවුරු කළේය.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය.

“මම මහ බැංකු අධිපති ධුරය භාර ගන්න කැමති වන විට මෙහෙම තත්ත්වයක් තිබුණේ නෑ. ඒ වන විට මිරිහාන සිද්ධිය වෙලත් නෑ. ඒ සිද්ධිය තමයි මම ආවයින් පසු මේ දේශපාලන අස්ථාවරත්වය ආරම්භ වීමේ සිද්ධිය. ඊට පසු සිදුවීම් දිගටම සිදුවුණා. මගේ බලාපොරොත්තුව තිබුණේ සති දෙකක් පමණ ඇතුළත දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙයි. ඒ නිසා කරගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලයි. දැන් මාසයක් ගිහින් තිබෙනවා. පසුගිය සඳුදා ඉඳලා ඒ තත්ත්වය තවත් වැඩි වුණා. මම දැන් ඒ පණිවුඩය කියල තියෙනවා සියලුම දේශපාලන පක්‍ෂවල අයට. ඒ අය එකතු වෙලා යම් කිසි ආකාරයකට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගන්නේ නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ කියලා. ඒක මමද වෙන කවුද ඉන්නෙ කියන එක ප්‍රශ්නයක් නෑ. කාටවත් බෑ ආර්ථික වශයෙන් මේ රට ගොඩගන්න. එහෙම අරාජික වන රටක නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක නොවන රටක, ස්ථාවර දේශපාලන තත්ත්වයක් නොමැති රටක මහ බැංකු අධිපති වශයෙන් කවුරු හිටියත් ඒ දේ කරන්න අමාරුයි.

අඩු තරමේ තවත් සතියක් දෙකක් ඇතුළත එවැනි දේශපාලන එකඟතාවක් ඇතිකර ගත්තේ නැත්නම් මම මේ තනතුරේ ඉන්නේ නැති බව තමා ප්‍රකාශ කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

හේතුව තමයි මම හිටිය කියල විසඳුමක් වෙන්නෙ නෑ. ඒක තනිවම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනිවම මේ රට ගොඩගැනීමට බැහැ. ඒ අත්‍යවශ්‍ය ස්ථාවර දේශපාලන තත්ත්වය රටේ නැත්නම්. එහෙම වුණොත් සමාජ හා දේශපාලන අස්ථාවරත්වය වර්ධනය වෙලා අපි හැමෝම අමාරුවේ වැටෙන තත්ත්වයකට රට පත්වෙනවා. එවැනි පාලන ක්‍රමයක මහ බැංකු අධිපතිවරයකු ලෙස කටයුතු කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශපාලන පක්‍ෂවලට කියල තියෙනවා ගිය සතියෙ මේක සිදුවුණාම.

දැනටමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් තියෙනවා. තව දින කිහිපයක් මෙහෙම ගියොත් යළි පැය 10 – 12 ක් විදුලිය නැතිව ඉන්න වෙයි. පෙට්‍රල් ඩීසල් නැතිවෙයි. ගෑස් නැතිවෙයි. ජනතාවට වෙන විකල්පයක් නැති නිසා සාමකාමී හෝ ප්‍රචණ්ඩකාරී මහජන උද්ඝෝෂණ ඇතිවෙයි. ඒ නිසා හැකි ඉක්මනින් ස්ථාවර දේශපාලන විසඳුමක් අවශ්‍ය යැයි ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment