සමෘද්ධි බැංකු වංචා පෙන්නුවත් ලොක්කන්ට වගේ වගක් නෑ- විගණන කාර්යාලය කියයි

156

සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල සිදුවී ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණ ද මෙකී වංචා හා අක්‍රමිකතා වළක්වා ගැනීමට ඉහළ කළමනාකරණයේ අවධානය යොමුවී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 -2018 කාලයේ සිදුවූ වංචා 135කට අදාළව රුපියල් එකොළොස්කෝටි පනස් හත් ලක්ෂ විසිතුන්දහස් හයසිය දහනමයක (115,723,619) සම්බන්ධයෙන් 2018 හා 2019 යන වර්ෂවල විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණි. වාර්ෂිකව වාර්තා වී ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතාවල ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවී තිබියදීත් මේ සම්බන්ධව ඉහළ කළමනාකරණය විසින් අවධානය යොමුකොට ඒවා වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. බැංකු මුදල් අයථා පරිහරණය හේතුවෙන් දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා සඳහා යෙදවීමට ඇති මුදල් ඒ සඳහා යෙදවීමට නොහැකි වී තිබුණි. මේ සඳහා අනුයුක්තකොට ඇති කාර්ය මණ්ඩලය විසින් සිදුකර ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා වාර්තාවීම ප්‍රමාණාත්මක අගයක් ගෙන තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මේ වන විට සියලු සමෘද්ධි බැංකු හා බැංකු සමිති පරිගණක ක්‍රියාවලියට යටත් කිරීම සිදුකරමින් පවතින බවත් එම නිසා අතින් සිදුකිරීමේ දී සිතාමතා සිදුකරන වැරදි හා මූල්‍ය වංචා අවම කර ගැනීමට හැකි බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment