ස්වෛරීභාවයට හානියක් – සෙලෙන්දිවා වැඩ අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

278

සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සහ සෙලන්දිවා ලෙෂර් ඉන්වෙස්ට්මන් යන සමාගම්වලට රජයට අයත් හා රජයට බහුතර කොටස් හිමි සමාගම් හා ආයතන පවරාදීම හා බදුදීම වළක්වන නියෝගයක් මුදල් අමාත්‍යවරයා වෙත නිකුත්කරන්නැයි ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා ඊයේ (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික ආයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එලෙස රජයේ දේපළ පවරාදීම ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට පටහැනි බවත් එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුවන බවත් නීතිඥ දර්ශන රවීරදුවගේ මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමෙන් පෙත්සම්කරු අධිකරණයට සඳහන් කර තිබේ.

රජය විසින් ස්ථාපිත කර ඇතැයි කියන එකී සමාගම් දෙකට මේ වනවිටත් කැන්විල් හෝල්ඩින්ග් සමාගම, හොටෙල් ඩිවොලපර්ස් ලංකා සමාගම හා හොටෙල් කලම්බු ලිමිටඞ් නමැති ආයතන පවරා දීමට පියවර ගෙන ඇති බවත් තවත් රජය සතු සමාගම් හා ආයතන රැසක් ඉදිරියේදී පවරාදීමට සැලසුම් කර ඇති බවත් සිය පෙත්සම මගින් සඳහන් කර ඇති පෙත්සම්කාර ඉංජිනේරුවරයා ඒ සම්බන්ධයෙන් පසුගිය මැයි 17 වැනිදා ගෙන ඇති කැබිනට් තීරණය බලශූන්‍ය කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමගින් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත්කරන ලෙසත් ඉල්ලා ඇති පෙත්සම්කරු සිය පෙත්සම සලකා බැලීම සඳහා විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. එබැවින් පෙර කී සමාගම් දෙකට පවරනු ලබන හෝ බදු මත ලබාදෙන සමාගම් හෝ ආයතන ලියාපදිංචි කිරීම වළක්වන නියෝගයක් සමාගම් රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා වෙත නිකුත්කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, විගණකාධිපති ඩබ්ලිව්. පී.සී.වික‍්‍රමරත්න, නාගරික සංවර්න අධිකාරිය, කැබිනට් මණ්ඩල ලේකම් ඩබ්ලිව්. එම්. ඞී. ජේ. ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, සෙලන්දිවා ලේසර් ඉන්වෙස්ට්මන්ට් සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම, ලංකා රක්ෂණ සමාගම ඇතුළු සමාගම් හා පුද්ගලයන් 19 දෙනකු නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment