අපටම හරියන ක‍්‍රිකට් මැනේජර් සහ එංගලන්තයේදී පත්තු වූ ක‍්‍රිකට් බීඩිය

394

ක‍්‍රීඩාව කොතරම් පරණ සෙල්ලමක් ද යන්න ඔබ දන්නේ ද?
 
 එය අවුරුදු පහළොස්දාහකටත් වඩා පැරණිය. සිතීමට සහ නිර්මාණ කිරීමට ඇති හැකියාව නිසා  තිරිසනාගෙන් ටිකක් ඉහළින් සිටින මනුසතාට ක‍්‍රීඩාව පිළිබඳ ඇති පළමුවන අත්දැකීම මෙසේ වී යැයි කියනු ලැබේ. ඔවුහු පොලූ සහ ගල් ගෙඩි අතින් ගෙන මරා කෑම පිණිස සතුන් ලූහුබඳින්නට වූහ. ටිකක් කල්ගත වනවිට සතෙක් නැතිව වුවද වනාන්තරය මැදින් වේගයෙන් දිවයෑම තුළ කිසියම් චූන් එකක් ඇති බව මිනිහාට වැටහෙන්නට පටන් ගත්තේය. එය වර්තමාන චූන් පාන් කාරයා සතු චූන් එකට සමානය. තමන් බඳුම දුවන එකෙක් පසුකර දිව යා හැකි නම් ඒ චූන් එක ඩබල් වන බව මෙයට අවුරුදු 16000 ට පමණ පෙර මිනිසුන්ට තේරිණ. ඉන්පසු එකිනෙකා ගුටි කෙළ ගෙන ලේ හලන විට ඒ දෙස බලා සිට සතුටක් ලැබීමට පුරුදු වූ මනුසතා ගුස්ති ඇල්ලීමට හෙවත් මල්ලව පොරයෙහි යෙදීමට පටන් ගත්තේය. ලෝකයේ ඉපැරණිම චිත‍්‍ර අඩංගු ලස්කෝ නමැති ලෙනක් ප‍්‍රංශයේ තිබේ. මේ ලෙනේ ජීවත් වූ පැරණි මිනිස්සු මීට අවුරුදු පහළොස්දහස් තුන්සියයකට පෙර ගුස්ති ඇල්ලූ හැටි, මලල ක‍්‍රීඩාවේ යෙදුනු හැටි, ඇතුළු රූප රාශියක් ලෙන් බිත්තිවල ඇඳ ඇත. ක‍්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳ අප ඉහත ටික ලිව්වේ එංගලන්තයේ ක‍්‍රිකට් ගැසීමට ගොස් මුඛ වාඩම් නැතුව සිගරට් බී (කොහොමත් මුඛ වාඩම් දමාගෙන සිගරට් බොන්නට බැරිය.* කොරෝනා ජෛව බුබුල උල්ලංඝනය කිරීමේ චෝදනාව මත යළි මෙරටට පටවන ලද අපේ ක‍්‍රිකට් කොල්ලන් තුන්දෙනකු පිළිබඳ ලියන සටහනක පූර්විකාව වශයෙනි.
 
 ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා රාශියකින් සමන්විත රටකි. එල්ලේ, ක‍්‍රිකට්, පාපන්දු, පැසිපන්දු, හොකී, බොක්සිං, ජූඩෝ, චීන අඩි, කරාටේ, ඇට බෝල ගැසීම, ටින් කැඞීම, පංච කෙළිය, බූරුවා ගැසීම වැනි ක‍්‍රීඩා
 
 තොගයක් අපට ඇත. මේ ක‍්‍රීඩාවලින් දේශපාලනීකරණය හෝ වාණිජ්‍යකරණය නොවූ ක‍්‍රීඩා දෙකක් ඇත. ඉන් පළමුවැන්න ඇට බෝල ගැසීමය. සල්ලි ඔට්ටුවට ඇට බෝල ගසන කොලූ මැ?ටියන් අපේ ගම් රටවල සිටිය ද ඇට බෝල යනු ජාත්‍යන්තර මට්ටමට යන ක‍්‍රීඩාවක් නොවන නිසා තරග පාවාදීම් කළ නොහැක. ඇට බෝල පාලක මණ්ඩලයක් ද නැත. ඇට බෝල නිලවරණයක් ද නැත. ඇට බෝල ස්ටේඩියම් සෑදීමට යැයි කියා මුදල් ගසා කෑමට ද නොහැක. එයට සමපාතව ටින් කැඞීම ද කිසිදු බන්ධනයකට යටත් නැති අහිංසක අනාථ ක‍්‍රීඩාවකි. එහෙත් ක‍්‍රිකට්වලින් ගසා කෑමට හැකිය. එයට දේශපාලන බලපෑම් තිබේ. පාපන්දු, පැසිපන්දු ඇතුළු ජාත්‍යන්තරයට යන, පාලක මණ්ඩල ඇති නිලවරණ පවත්වන සියලූ ක‍්‍රීඩාවලින් ගසා කෑමට හැකිය. මේ අතර ක‍්‍රිකට් යනු මුදල් ගසා කෑමේ සියලූ ක‍්‍රීඩාවල අග රජු ලෙස සලකනු ලැබේ.

මේ ක‍්‍රීඩාවේ නිරත වන අයගෙන් සියයට හැටක් පමණ මුලදී පිට්ටනියට එන්නේ බඩගාගෙන ය. පසුව මාසයකට රුපියල් තිස් ලක්ෂයක් පමණ වැටුප් ලැබීම නිසා ඔවුන් ඉතාම නරක මිනිස්සු බවට පත්වෙති. මෑත කාලීන ක‍්‍රීඩකයන් අතර එවැනි අසූචි ඇෙඟ් තවරා නොගත්තෝ කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, චමින්ද වාස් ඇතුළු ස්වල්පයක් පමණි. ක‍්‍රිකට් ගැසීම සඳහා එංගලන්තයට ගිය කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ද, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ද මීට දින හතරකට පෙර එංගලන්තයේ නගරයක් මැද දී බීඩි හෝ සිගරට් බීම මේ වනවිට රාජද්‍රෝහී ක‍්‍රියාවක (Treason) මට්ටමට පත්ව තිබේ. රාජද්‍රෝහී වීමට දඬුවම (බොහෝ රටවල) මරණයයි. එහෙත් කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට මරණ දඬුවම නොදී අවුරුදු පහක ක‍්‍රිකට් තහනමක් පැනවිය යුතු යැයි සාකච්ඡුා වී තිබේ. ඉන්නා තැනින් හොරෙන් පැන ගොස් සිගරට් බීම තරුණයන් වැඩිදෙනාගේ සිරිතය. (දුම්බීම මාරාන්තිකයි. පිළිකා වැලඳීමට ඉඩ ඇත.) ඊට වැඩි වැරදි මේ
 
 තිදෙනාගෙන් දෙදෙනෙක් පසුගිය කාලයේදී සිදුකර ඇත. ඉකුත් වසරේ ජුලි 5 දා පාරේ වැරදි දෙසින් අධි වේගයෙන් වාහනයක් පැදවූ කුසල් මෙන්ඩිස් පාපැදිකරුවකු යට කළේය. ඒ මිනිහා මළේය. සාමාන්‍යයෙන් රිය අනතුරකදී එයට ලක්වන මිනිහා ඉස්පිරිතාලයට ගෙන යන්නේ නම් රිය පැදවූ අයට සෑහෙන දවසක් රිමාන්ඞ් එකේ ඉන්නට සිදුවේ. එහෙත් අසරණ පාපැදිකරුවාගේ මරණයට හේතු වූ කුසල් මෙන්ඩිස් ට පහුවදා ම ඇප ලැබුණේය. අපි අධිකරණයට ගරු කරමු. අධිකරණය දෙන්නේ හොඳම තීන්දුවය. ඊළඟට ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ධනුෂ්ක ගුණතිලක තරුණියකට අඩන්තේට්ටම් කළේය. තව පොඞ්ඩෙන් ඔහු හතර වටේ සිටි  අයගෙන් ගුටි කා මිය යන්නේය. පසුව විනය කමිටුවක් මගින් ධනුෂ්ක ගුණතිලක මානසික උපදේශනය සඳහා නිර්දේශ කරන ලදී. සාමාන්‍යයෙන් ලිංගික හිංසකයන්, ළමයින් අපහරණය කරන්නන් සහ ගෘහස්ථ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරත වන්නන් හිරේ දමා මානසික උපදේශනවලට යොමු කිරීම බටහිර රටවල සිරිතය. ඒ අර්ථයෙන් ගත්කල මානසික උපදේශනය සඳහා යොමු කෙරුණු ධනුෂ්ක ගුණතිලක ක‍්‍රිකට් ගැසීමට රට යැවීම ඉතාම භයානක දෙයකි. ඒ අතර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් මැනේජර් මහතා විශේෂ ප‍්‍රකාශයක් කර ඇත. එනම් ඉහත සඳහන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනාගේ හැසිරීමෙහි කිසිම වරදක් නැති බවත්, ඔවුන් ඉස්සරත් මේ විදිහට හැසිරෙන බවත්, ඔවුන් කළ එකම වරද මාස්ක් නැතිව සිටීම බවත් මැනේජර් කියා ඇත. මරු බඩුවක් ලෙස පෙනී යන මේ මැනේජර් එදිනෙදා ජීවිතයකට හුරු වූ 1970 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ සිටි සමුපකාර මැනේජර් කෙනකු හා සමානය. එකල උම්බලකඩ දුන්නේ සලාකයට ය. උම්බලකඩ ඉවර වූ විට මැනේජර් කරන්නේ කරකුට්ටන් වෙන තරම් වියළුණු බල කරෝල උම්බලකඩ හැටියට විකිණීමය. ක‍්‍රීඩකයන් තුන්දෙනා රාත‍්‍රී දහයෙන් පසු හෝටලයෙන් පිටව යෑමට ඇති තහනම ද කඩා ජෛව බුබුල විදීම ගැන මැනේජර්ට කල්පනාවක් නැත. ඒ අනුව මැනේජර් ද මානසික උපදේශනයට යොමු කරන ලෙස සද්භාවයෙන් යෝජනා කරමු. අප මෙය කියන්නේ එතුමාගේම හොඳටය.
 
 එසේම මේ මොහොතේදී අවුරුදු පහක තරග තහනමක් පැනවිය යුත්තේ ඉහත සඳහන් ක‍්‍රීඩකයන් තුන්දෙනාට පමණක් නොව සමස්ත ක‍්‍රිකට් කණ්ඩායමටම ය. එයට හේතුව පඩි ද ලබන අතර යන යන තැන ඔවුන් පැරදීමය.

advertistmentadvertistment
advertistmentadvertistment