සුනිල් අරුණ වීරසිරි අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘වීර්යා’ අද (05 වැනිදා) සිට රට පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඉතින් ඔහු සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

සිනමා ශාලා පිළිවෙළක් වෙන්න ඕනෑ - අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි
  • ‘වීර්යා’ චිත්‍රපටය ඔබේ පළමු අධ්‍යක්ෂණයද?

නැහැ. මම මීට කලින් ජයලාල් රෝහණ මහත්තයාව ප්‍රධාන චරිතයට යොදවලා ටිකිරි සුවඳ කියල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒක ඊඒපී මණ්ඩලයේ තමයි ප්‍රදර්ශනය වුණේ. ඔවුන් මගෙන් ඒ චිත්‍රපටය මිලදී ගත්තා. ඊට කලින් මම රෝයි ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ “සැපට දුකට සනී”, “ක්ලීන් අවුට්” කියන චිත්‍රපට දෙක නිෂ්පාදනය කළා.

  • ‘වීර්යා’ අද සිට රට පුරා තිරගත වෙනවා?

ඇත්තටම මේක කරලා ටික කාලයක් වෙනවා. ඇන්ටන් ජුඩ් අන්තිමට රඟපාපු චිත්‍රපටය තමයි මේක. නමුත් මෙහි කතා තේමාව කිසිසේත්ම පරණ නැහැ.

  • පිටපත ගැන කතා කළොත්?

මේ පිටපත මගෙයි ලාල් පාගොඩ ආරච්චිගෙයි එකතුවෙන් තමයි ලියැවුණේ. ලාල් පාගොඩ ආරච්චිත් මීට අවුරුදු එකහමාරකට කලින් අපි අතරින් වියෝ වුණා. ඊට අමතරව මෙහි රඟපෑ ඥානාංග ගුණවර්ධනත් මෑතකදී අපි අතරින් සමුගත්තා.

  • කතා තේමාව කවුරු ඉලක්ක කරගෙනද නිර්මාණය වෙන්නේ?

නිවසක සේවයට එනවා රියැදුරෙක්. මේ නිවසේ ඉන්න දුව සල්ලාල තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරනවා. ඊට පසුව මතුවන ගැටලු තමයි මේ චිත්‍රපටයෙන් කතා වෙන්නේ. මේක ඇත්තටම පවුලේ චිත්‍රපටයක්. මෙහි රංගනයෙන් සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, රොඩ්නි වර්ණකුල, ශේෂාදි ප්‍රියසාද්, ජගත් චමිල වගේ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

  • තිරගත කිරීමේදී මුහුණ දුන්න අභියෝග?

අභියෝග නම් ගොඩක් තිබුණා. ඒ ආපු අභියෝග නිසයිනේ මේ තරම් ප්‍රමාද වුණේ. මම ඒකට කාටවත් දොස් කියන්න කැමැති නැහැ. මේ වගේ සමුඛ සාකච්ඡාවක් කරන්න පවා මම අධ්‍යක්ෂවරයෙක් විදිහට මහ ලොකුවට ප්‍රචලිත නැහැනේ. මම නිෂ්පාදකවරයෙක් විදිහට තමයි ප්‍රචලිත. අනික මම චිත්‍රපට හදන්නේ කාත් එක්කවත් තරගයකට නෙමෙයි. මේක තනිකරම මාෆියාවක්. සැමටම එක හා සමානව ගලාගෙන යෑමක් මෙතැන නෑ. හැමෝම බලාගෙන ඉන්නේ අහවලාගේ චිත්‍රපටය ගන්න කියන ඒක විතරයි. එකේ වරදක් දකින්නේ නැහැ. මොකද මමත් සිනමා ශාලා හිමියෙක්.

  • ඔබට හිතෙන්නේ නැතිද මේ කර්මාන්තය දිගින් දිගටම කඩා වැටීමේ අවදානමකට ලක්වෙලා කියලා?

අපේ රටේ සිනමා ශාලා පිළිවෙළක් වෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් සිනමාහල්වලට රසිකයෝ එන්නේ නැහැ. මමත් සිනමාහලක් ආරම්භ කරපු ගමන් කොරෝනා වසංගතයට හසු වුණා. වසංගත හින්දා අපි සිනමාහල් අවුරුදු දෙකක් වහලා තිබුණා. අන්තිමේ මම මෙහි කළමනාකාරීත්වය වෙනත් සමාගමකට භාරදුන්නා. මොකද සිනමාහලක් කරනවා කියන්නේ අද ලේසි නෑ. හොඳ චිත්‍රපට තිබෙනවා නම් මිනිස්සු සිනමාහල්වලින් ඉවත් වෙන්නේ නෑ. තවද හොඳ සිනමාහල් බිහි වෙන්නත් ඕනෑ. අනික අපේ රටේ ගොඩක් සිනමාහල් හිමියන්ට හිතෙන තවත් කාරණාවක් තමයි මොකක් හරි ෆුඩ්සිටි එකකට දීලා කීයක් හරි අරගෙන ඉන්න එක ලාභයි කියන කාරණාව. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක හැමෝම ලෙහෙසි පහසු මාර්ගවලට හැරනවානේ. ඒක හින්දා සිනමාහල් රැසක් වැසී ගියා. සිනමාහල් ෆුඩ්සිටිවලට දුන්නම කර්මාන්තයට ලොකු ගැටලුවක් තිබෙනවා.

“වීර්යා” චිත්‍රපටයේ රංගන දායකත්වය

ජගත් චමිල, ශේෂාද්‍රි ප්‍රියසාද්, ලකී ඩයස්, ශ්‍රියානි අමරසේන, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, අංජුලා රාජපක්ෂ, සුජානි මේනකා, රම්‍යා වනිගසේකර, රොඩ්නි වර්ණකුල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ඇන්ටන් ජූඩ්, සරණපාල සූරියආරච්චි, ඥානාංග ගුණවර්ධන, නෝමන් පලිහවඩන, නිපුනි වීරසිරි නාරායන (හඳුන්වාදීම), නෙතු ප්‍රියංගිකා, සංජු සමරසිංහ, සමන්ත මායාදුන්න, ගයා ක්‍රිෂානි, සමාධි නිර්මාණි, රශී ද සිල්වා, ඉන්දික දළුගම, මානෙල් වීරසිංහ

“වීර්යා” චිත්‍රපටයේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය, කතාව සහ නිෂ්පාදනය – සුනිල් අරුණ වීරසිරි, තිර රචනය – ලාල් පාගොඩආරච්චි, කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සහය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත පතිරගේ, ආනන්ද කපුගේ, සුගත් ලෙල්ලම්පිටිය, සංස්කරණය – අජිත් රාමනායක, ශබ්ද සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි, කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම සහය දුලීප් ප්‍රනාන්දු, අංග රචනය – ඉන්දික උදාර ලංකා සහය චාමර නිරෝෂන්.

සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බිලී වෝන්, කැමරා සහය – බුද්ධික සේරසිංහ, ආලෝකකරණය – සුරේන්ද්‍ර කුමාර, ආලෝකකරණ සහය – උපුල් වීරසිංහ, සුදේශ් සමරතුංග, කේ.කේ. පාලිත, රොහාන් පෝල්, රුක්ෂාන් සමන් කුමාර, ලලිත් වසන්ත, සුරේෂ් මධුසංක, නිෂ්පාදන සහය – බී.අයි. ජයතිස්ස, අජිත් කුමාර, නිශාන්ත ද සිල්වා, සලිත ප්‍රමෝත්, වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ, ඇඳුම් නිර්මාණය – නාලක ප්‍රසන්න, නිශ්චල ඡායාරූපකරණය – මහේෂ් නිශාන්ත, නිෂ්පාදන කළමණාකරණය – සුමිත් ප්‍රසන්න සහය ධනුෂ්ක චතුරංග, සජීවීකරණය – රුසිරු පන්නිල, සංගීත අධ්‍යක්ෂණය – ප්‍රමෝද් නාරායන, අමිත් ගුරුලවල, ගී පද රචනා – නිලාර් එන්. කාසිම්, බයිලා සැන්ටි, නිෂ්පාදන විධායක – කාන්ති වීරිසිරි

ගීත ගායනය – උරේෂා රවිහාරි, ප්‍රභාෂ් වීරසිරි නාරායන, කුමාර තිරිමාදුර, විමලජිත් දොඹගහවත්ත, රොඩ්නි වර්ණකුල

දිනේෂ් විතාන

සිනමා ශාලා පිළිවෙළක් වෙන්න ඕනෑ - අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි
advertistmentadvertistment
advertistmentadvertistment